මි. ලී. 750 ප්ලාස්ටික් බෝතල් පරිසරයට එක්වීම වැළැක්වීමට වැඩපිළිවෙළක්

(කොළඹ, ලංකාපුවත්) –මිලිලීටර් 750 ප්ලාස්ටික් බෝතල් පරිසරයට එක් වීම වැළැක්වීමට විකල්ප වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි පරිසර අමාත්‍යාංශයේ අවධානය යොමු කර තිබේ.

ඒ අනුව මි.ලී. 750 ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රියකරණය සඳහා විකල්ප වැඩපිළිවෙළක් යෝජනා කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාල නිෂ්පාදන සමාගම්වලට හා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දී ඇත.

පරිසර අමාත්‍යාංශය විසින් මෙරට පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා ක්‍රියාත්මක කර තිබෙන වැඩ පිළිවෙළ යටතේ මේ වනවිට ඒ ආශ්‍රිත නිෂ්පාදන කිහිපයක් තහනම් කර තිබේ. එමෙන්ම තවත් පොලිතීන් හා ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන ලැයිස්තුවක් සකස් කර තිබෙන අතර එම නිෂ්පාදන ද ඉදිරි කාලය තුළ තහනම් කිරීමට යෝජිතය.

එම පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන රැසක් තහනම් කිරීමට හේතුව නම් ඒවා නිෂ්පාදනයට පරිසර හිතකාමී හා පහසුවෙන් දිරාපත්වන විකල්ප තිබියදී නිපදවනු ලබන ද්‍රව්‍ය වීමයි.

මේ අතර මි. ලී. 750 ප්ලාස්ටික් බෝතල් පරිසරයට එක් වීම වැළැක්වීමට විකල්ප වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි පරිසර අමාත්‍යාංශයේ අවධානය යොමු කර තිබේ.

මි.ලී. 750 ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රියකරණය සඳහා එම බෝතල් මිල දී ගන්නා විට කිසියම් මුදලක් තැම්පතුවක් වශයෙන් තබා ගැනීමට යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. හිස් බෝතලය නැවත බාර දී අදාල තැම්පත් මුදල යළි ලබා ගත හැකිවන අතර, හිස් බෝතලය ඉවතට වීසි කළ ද වෙනත් අයෙකුට එවැනි බෝතල් එක්රැස් කර බාර දීම මගින් අමතර ආදායමක් උපයා ගැනීමට ද පිළිවන.

දැනට යෝජනා වී ඇති පරිදි එම තැම්පතු මුදල රුපියල් 10කි. මෙම යෝජනාවට අදාල සමාගම් ද එකඟත්වය පළ කර තිබේ.

කෙසේ වුවද මි.ලී. 750 බෝතල් සම්බන්ධව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතත් එම බෝතල් ප්‍රතිචක්‍රියකරණය කිරීමේ ස්ථිර වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. දැනට අපේ රටේ පළාත් පාලන ආයතන සතුව එවැනි බෝතල් ප්‍රතිචක්‍රියකරණය කළ හැකි කර්මාන්තශාලාවක් නොමැති හෙයින් මෙම ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදන සමාගම් එක්ව ඒකාබද්ධ ප්‍රතිචක්‍රියකරණ කර්මාන්ත ශාලාවක් පිහිටුවීම කෙරෙහි ද මේ වන විට පරිසර අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *