චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවන සංවත්සරය අගමැති ආමන්ත්‍රණය කරයි

(කොළඹ, ලංකාපුවත්) – චීන කොමියුනිස්ට් පක්ෂයෙත් අපේ වාමාංශික ව්‍යාපාරයේ සහය නිසා අපට නොබැඳි ජාතියක් හැටියට ස්වාධීනව ලෝකය ඉදිරියේ නැගී සිටීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (15) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවසීය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ සිය වන සංවත්සරය, වීඩියෝ තාක්ෂණය ඔස්සේ ආමන්ත්‍රණය කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවෙනි සංවත්සරය සමරන මේ මොහොතේ අපේ උණුසුම් සුබපැතුම් පිරිනමන්න ඕනෑ. එම පක්ෂයේ සියවෙනි සංවත්සරය සමරන මේ වසර ආසියාවේ අප කාටත් ඉතා වැදගත් බව මගේ විශ්වාසයයි.

මිත්‍රවරුනි,

ආසියාවේ නැගිටීම මේ සියවසේ සිදුවන්නේ චීනයේ පිබිදීම මුල්කරගෙන බව අප කාගේත් විස්වාසයයි. ඒ ඓතිහාසික ජය්‍රහණය චීනයට ලබාදුන්නේ මීට වසර සියයකට කලින් 1921 දී දොළොස් දෙනෙක් එක් වෙලා පිහිටවපු කොමියුනිස්ට් පක්ෂය විසින් බව අපි කවුරුත් දන්නවා.

ඒ නිසයි මම කිවුවේ චීන කොමියුනිස්ට් පක්ෂය ආසියාවටම ලොකු වැදගත් කමක් තිබෙන පක්ෂයක් බව.

මිත්‍රවරුනි,

චීනය කියන්නෙ ‍රටක් විතරක් නොවෙයි චීනය කියන්නෙ දැවැන්ත ශිෂ්ටාචාරයක්. චීන රට විවිධ ආක්‍රමණ වලට ලක් වුනා මිස කවදාවත් චීනය වෙනත් රටවල් ආක්‍රමණය කලේ නෑ. ඒ වගෙම ලෝකයේ විශාලතම ජනතාවක් ස්වයංපෝෂිත ආර්ථිකය ගැන විශ්වාසය තියලා ජීවත් කරවපු රටක්. ඒ විතරක් නොවෙයි කෘෂිකර්මාන්තය ගැන විශ්වාසය තියලා එය පදනම් කරගෙන ගොඩ නැගුණු රටක් හැටියටයි චීනය සලකන්නේ. ඒනිසයි මම කියන්නෙ චීනය දැවැන්තම ශිෂ්ටාචාරයක් කියලා.

මිත්‍රවරුනි,

චීන කොමියුනිස්ට් පක්ෂය ඒ ශිෂ්ටාචාරයේ ලකුණ හඳුනාගෙන කටයුතු කළ නිසා තමයි අද චීනය ලෝකෙ බලවතෙක් විදියට දියුණු කරන්න පුලුවන් වෙලා තියෙන්නෙ. චීනයත් අපිත් අතරෙ තියෙන්නෙ ඓතිහාසික සමානකමක්. චීනය චීන මහා ප්‍රාකාරය ඉදිකරනකොට අපේ දේවානම්පියතිස්ස මහ රජතුමා අනුරාධපුර මහමෙව්නා උයන පිහිටවනවා. එදා ඉදන් එකම රාජ්‍යයක් භාෂාවක් ආගමක් අඛණ්ඩව පවත්වාගෙන ගියේ, අපිත් චීනයත් බව මම බොහොම ආඩම්බයෙන් කියන්න ඕනෑ. අපේ ඓතිහාසික සමානකම වගේම මිත්‍රකමත් ඉතාම බලවත්.

චීනය බලවත් රටක් හැටියට අපේ ස්වාධීනත්වය රැක ගන්න විශාල වශයෙන් උදව් කරලා තියෙනවා. ආර්ථික වශයෙන් ගොඩ නැගෙන්න අපිට උදව් කරලා තියෙනවා.

චීන සහල් රබර් ගිවිසුම ශ්‍රී ලාංකිකයින්ට තවමත් මතකයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේදී ලංකාවේ ස්වාධීනත්වය වෙනුවෙන් චීනය කළ සේවය අපිට කවදාවත් අමතක කරන්න බෑ. චීනයට මම කවදත් කිව්වෙ
අපේ ඓතිහාසික මිත්‍රයා කියලා. මම කියනවා ඓතිහාසික කරුණු අනුව සලකා බලලා චීනය අපේ කල්‍යාණ මිත්‍රයා කියලා.
මිත්‍රවරුනි,

අපේ සම්භාව්‍ය ග්‍රන්ථයක තියෙනවා

“මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම පවතී. බිතුසිතුවම් රූ මෙන් පිටු නොපාවිතී” කියලා. චීනයත් අපට ඒ වගේ මිතුරෙක්.

චීන කොමියුනිස්ට් පක්ෂය අපට මෙතරම් සමීප කලේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය.

අතීතයේ චීනයත් ලංකාවත් සම්බන්ධ කලේ බුදුදහම. නිදහසින් පසු අපි අතර සබඳතාවය ගොඩ නගන්න මුල් වුනේ කොමියුනිස්ට් පක්ෂයයි. චීන කොමියුනිස්ට් පක්ෂය වගේම ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයත් ලංකාවේ ශිෂ්ටාචාරය මත පදනම් වුනු බොහෝ දේට ගරු කරනවා.

ජාතික ආර්ථිකයක් ස්වාධීන රටක් කෘෂිකර්මාන්තය ඇතුළු දේශීය කර්මාන්ත පද්ධතියක් කෙරෙහි විශ්වාසය තබනවා.
මට මතකයි ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයෙ නිර්මාතෘවරයා වුණ එස්.ඒ.වික්‍රමසිංහට කෘෂිකර්මාන්තයේ දියුණුව ගැන ලොකු උනන්දුවක් තිබුණා.එතුමා ඉදිරිපත් කළ, නිල්වලා ගඟ ව්‍යාපෘතිය, වමේ නායකයෙක් කෘෂිකාර්මාන්තය ගැන ඉදිරිපත් කළ වැදගත්ම ව්‍යාපෘතිය. මේ වගේ අදහස් දරපු කොමියුනිස්ට් පක්ෂය නිසා අපට චීනයත් සමඟ අතීත සම්බන්ධය තවත් තහවුරු කර ගන්න පුලුවන් වුණා.

චීන කොමියුනිස්ට් පක්ෂය ඇතුලු වාමාංශික පක්ෂ එකට වැඩ කළ සිරිමාවෝ මැතිනියගෙ කාලෙ අපේ චීනයත් එක්ක සබඳතා ඉතා විශිෂ්ට වුණා. අපිට නොබැඳි ජාතියක් හැටියට ස්වාධීනව ලෝකෙ නැගී සිටින්න උපකාරී උනේ චීන කොමියුනිස්ට් පක්ෂයෙත් අපේ වාමාංශික ව්‍යාපාරයේ සහායත් නිසා බව මම කියන්න ඕනෑ. අපත් කොමියුනිස්ට් පක්ෂය ඇතුලු වමේ පක්ෂත් එකට වැඩ කළ ආණ්ඩුවක් යටතේ තමයි අපි බෙදුම්වාදී ත්‍රස්තවාදී යුද්ධය නිමා කළේ. ඒ යුද්ධය තිබුණ කාලෙත් ඉන් පසුවත් චීන රජය අපේ ස්වාධීනත්වය වෙනුවෙන් කළ කැපකිරීම් අපි සදහටම අගය කරනවා. ඒක චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසයේ ආසියාවේ රටක ස්වාධීනත්වය වෙනුවෙන් කළ විශිෂ්ට උපකාරයක්.

මිත්‍රවරුනි,
මේ මොහොතේ ලංකාවෙ කොමියුනිස්ට් පක්ෂයත් අපිත් අතර තිබෙන බැඳීම ගැන මම මතක් කරන්න ඕනෑ. ලංකාවෙ කොමියුනිස්ට් පක්ෂයට දැන් වසර 78 සම්පුර්ණ වනවා.

සහෝදරවරුනි,
කොමියුනිස්ට් පක්ෂයේ පුරෝගාමී නායකයා වුණ දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමා දකුණෙන් ආව කෙනෙක්. මගේ ලොකු තාත්තා වුණ ඩී.එම් රාජපක්ෂ වගේම මගේ පියා වුණ ඩී.ඒ රාජපක්ෂ මැතිතුමත් දොස්තර එස්.ඒ වික්‍රමසිංහ මැතිතුමා සමඟ ඉතා ළඟින් දේශපාලන සම්බන්ධතා පවත්වපු අය. ඒ වගේම මමත් මගේ ලොකු තාත්තා, මගේ පියා වගේම දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මැතිතුමාගේ දේශපාලන චරිතයට ඉතාම ආදරයෙන් ගරු කරන කෙනෙක් බව මේ මොහොතේ කියන්න ඕනේ.

ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ආරම්භක නායකයා වුණ වික්‍රමසිංහ මැතිතුමාගේ පොදුජන දේශපාලන සටන් මඟ මගේ ජීවිතයටත් ඉතාම ආදර්ශයක් හැටියට බලපෑ බව කියන්න ඕනේ. පීටර් කේනමන්, රාජා කොල්ලුරේ සරත් මුත්තෙට්ටුවේගම, අද නායකත්වය දරන වීරසිංහ අපට සමීප එකට දේශපාලන සටන් බිමේ හිටපු අය. ඒ වගේම කොමියුනිස්ට් පක්ෂයේ හිටපු නායක ඩිව් ගුණසේකර මැතිතුමා එදා ඉඳන් අද වන තුරු මගේ ඉතා කිට්ටු සමීප මිත්‍රයෙක්. ඒ නිසා කොමියුනිස්ට් පක්ෂය මගේ ඉතාම සමීප වමේ දේශපාලන පක්ෂයක් හැටියට මම ඉතාමත් ගෞරවයෙන් මේ අවස්ථාවේ සිහිපත් කරනවා.
මිත්‍රවරුනි,

ලෝකය වෙනස්වෙලා. අපේ රටත් වෙනස්වෙලා. කාර්මික විප්ලවය පසුකරලා තාක්ෂණ විප්ලවයත් පසුකරලා
අද සයිබර් යුගයේ තරුණ පරපුරක් ඉන්නෙ. එදා තිබුණ දේශපාලන අදහස් නෙමෙයි අද තියෙන්නේ. නමුත් අපි මතක තියාගන්න ඕනේ අද අපි භුක්තිවිඳින සියලු අයිතීන් දිනා දෙන්න, අතීතයේ ප්‍රගතිශිලී දේශපාලන බලවේග කොමියුනිස්ට් පක්ෂය වාගෙ වාමාංශික ව්‍යාපාර අසීමිත ලෙස සටන් වැදුණු බව. ලෝකය කෙතරම් වෙනස් වුනත් එකක් අපි මතක තබාගත යුතුය. කොමියුනිස්ට් පක්ෂය හැමදාම පෙනීසිටියෙ සමානාත්මතාවය වෙනුවෙන්.

අදත් සමානාත්මතාවය පිළිබඳ අදහස ලෝකයේ වලංගුව පවතිනවා. ඒ වෙනුවෙන් දැවැන්ත කැප කිරීමක් කළ චීන කොමියුනිස්ට් පක්ෂය ලෝකයේ සමානාත්මතාවය වෙනුවෙන් අනාගතයේත් කැප වන බව මට විශ්වාසයැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *