ශානි අබේසේකරට ඇප

(කොළඹ, ලංකාපුවත්) –රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වන සුගත් මෙන්ඩිස් යන අය දෑඩි කොන්දේසි සහිත ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

නීතිඥ ගෞරි තවරාසා මහත්මිය මාර්ගයෙන් ගොනු කර තිබූ ප්‍රතිශෝධන පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කොට තීන්දුව දෙමින් නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කළේය.

ඒ අනුව ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් දෙදෙනා රුපියල් 25,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස විනිසුරු මඩුල්ල නියම කළේය.

සැකකරුවන් විසින් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දිය යුතු අතර අධිකරණයේ අනුමැතියකින් තොරව විදේශගත වීම ද තහනම් කෙරිණ.

සැකකරුවන් පදිංචිව සිටින ලිපින වෙනස් කරන්නේ නම් ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කළ යුතු බවටයි ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල වැඩිදුරටත් නියෝග කළේ.

ඇප නියෝගය ප්‍රකාශයට පත්කළ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන මාස 10 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියද ඔවුන් සාක්ෂිකරුවන්ට බලපෑම් කළ බවට එල්ල කරන චෝදනා සනාථ කළ හැකි ප්‍රමාණවත් කරුණු මෙම ප්‍රතිශෝධන නඩු විභාගයේ දී ඉදිරිපත් කිරීමට වගඋත්තරකරුවන් අපොහොසත් වූ බව සඳහන් කළේය.

ශානි අබේසේකර හෘද රෝග තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයෙකු වන අතර ඔහු කොවිඩ් රෝගයෙන්ද ආසාදිත වූ බව පෙත්සම් විභාගයේදී අනාවරණය විය.

හෘද රෝග තත්ත්වයෙන් පෙළෙන ඔහුට හෘද සැත්කමක් සිදුකළ යුතු බවට වෛද්‍යවරු විසින් දැනටමත් උපදෙස් දී ඇතැයි පෙන්වා දුන් විනිසුරු මඩුල්ල ඉදිරිපත් වූ සියලු කරුණු සැලකිල්ලට ගෙන ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් දෙදෙනා ඇප මත මුදාහැරීමට තීන්දු කළ බවද සඳහන් කළේය.

මෙම නඩු තීන්දුවේ පිටපතක් ගම්පහ මහාධිකරණය වෙත යොමු කරන ලෙසද විනිසුරු මඩුල්ල විසින් අභියාචනාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේය.

දැනට මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට එරෙහිව පැවති නඩුවකදී අසත්‍ය සාක්ෂි නිර්මාණය කර එම නඩුවට නීති විරෝධී ලෙස ගිනි අවි හඳුන්වා දුන් බවට චෝදනා කරමින් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් එහි හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර හා සුගත් මෙන්ඩිස් යන මහත්වරුන් අත් අඩංගුවට ගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණ.

එම අධිකරණය මගින් පෙත්සම්කරුවන් ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කළ අතර ඊට එරෙහිව ඔවුන් ගම්පහ මහාධිකරණයට ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම ද එම මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.

ඒ අනූව, ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලමින් නීතිඥ ගෞරි තවරාසා මහත්මිය විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සම් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *