ආයෝජන කලාපවලට එන්නත් ලබාදීමේ යාන්ත්‍රණය කඩිනම් කරයි

(කොළඹ, ලංකාපුවත්) – ආයෝජන කලාපවල සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කොවිඩ් එන්නත්කරණය කඩිනම් කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ (16) පැවසීය.

බියගම අපනයන සැකසුම් කලාපයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ උද්ගතව ඇති අභියෝගයන්ට මුහුණෙදෙමින් බියගම අපනයන සැකසුම් කලාපයේ නිෂ්පාදන සහ අපනයන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් මෙහි දී විශේෂ අවධානයක් යොමු විය.

සේවකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය හා ඒකාබද්ධව කොවිඩ් එන්නත්කරණ වැඩසටහන කාර්යක්ෂම ක්‍රියාත්මක කිරීම, අවශ්‍යතාව අනුව නිදහස් ආයෝජන කලාපවල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීම සහ අනෙකුත් ගැටලු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය.

අපිට දැඩි උවමනාවක් තිබෙනවා මෙම එන්නත්කරණ වැඩසටහන කඩිනම් කර ඉතාමත් ඉක්මනින් අවශ්‍ය සියලුදෙනාටම එන්නත ලබාදෙන්න.

ආයෝජන කලාප සදහා එන්නත් 130,000 ක් ලබාගැනීමට අතිගරු ජනාධිපතිතුමා සමග සාකච්ඡා කර තිබෙනවා.
මේ මාසේ අග සතියේ එන එන්නත් මිලියනයෙන් එම එන්නත් ප්‍රමාණය වෙන් කරගන්න අපට හැකියාව තියෙනවා.
ආයෝජන කලාප තුළම එන්නත්කරණයට අතිගරු ජනාධිපතිතුමා හා සෞඛ්‍ය අංශවලින් අනුමැතිය ලැබිලා තිබෙනවා. සියලුදෙනගේ සහය ඇතිව‍ කටුනායක අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් විවෘත කරන්න අපි බලාපොරොත්තුවෙනවා.
බියගම හා අනෙක් නිදහස් ආයෝජන කලාපවලටත් අවශ්‍යතාව අනුව යම් මැදිහත්වීමක් කර එම අවශ්‍යතාවය සපුරා දෙන්න පුළුවන්. ආයෝජන කලාපය ඇතුළත හෝ ආසන්න ප්‍රදේශයක එය ස්ථානගත කරන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය සහයෝගය අපි දෙන්නම්.

අපිට ප්‍රධාන ගැටලුව තියෙන්නේ මධ්‍යස්ථාන හදන එක නෙවෙයි. වෛද්‍ය කාර්යය මණ්ඩලය හදන එක. අවශ්‍යතාවය මත අපිට පුළුවන් ඒ සඳහාත් සහයෝගය දෙන්න.

මේ එන්නත් ලබාදෙන්න ඕනේ කාටද කියලා තීරණය කරන්නේ ආණ්ඩුවවත්, ජනාධිපතිතුමාවත් නෙවෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශය. අදාල කලාපවල කොවිඩ් 19 ව්‍යාප්තිය ගැන විශ්ලේෂණය කර ඒ අය තීරණය කරනු ලබනවා එන්නත ලබාදිය යුතු අය සහ ලබාදිය යුතු වයස් සීමාවන්.

විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටට ලබා දෙන ඔබ වැනි ආයතන, ආයෝජන කලාප, නිදහස් වෙළඳ කලාප, කර්මාන්ත ශාලා සඳහා මෙම කොවිඩ් 19 එන්නත ලබාදෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ එන්නත්කරණ කමිටුව තීරණය කරලා තිබෙනවා.

මහනුවර කුන්ඩසාලේ නිදහස් ආයෝජන කලාපයේ 100% ක් එන්නත්කරණය සිදු කර දැනට අවසන්.

පසුගිය දවස්වල කුරුණැගල ඇඟලුම් කර්මාන්ත ශාලා සඳහා එන්නත් 10,000 ක්, කෑගල්ලේ කර්මාන්ත ශාලා සදහා එන්නත් 10,000 ක්, හම්බන්තොට ඇගළුම් සේවකයෝ 18,000කට පමණ එන්නත්කරණය සිදු කළා.

ගම්පහ, ගාල්ල, අනුරාධපුර, පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇගළුම් කර්මාන්ත ශාලා බොහෝමයක් දැනටමත් එන්නත්කරණ වැඩසටහනින් ආවරණය වී තිබෙනවා.

මෙම එන්නත්කරණ ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් සමග මනා සම්බන්ධතාවයක් පවත්වාගෙන යමින් කටයුතු කළ යුතුයි.

දිස්ත්‍රික්ක සඳහා ලබා දෙන එන්නත් ප්‍රමාණය ඒ ඒ දිස්ත්‍රික්ක තුළ පවතින කර්මාන්ත ශාලා සදහා අදාළ ප්‍රදේශීය සෞඛ්‍ය නිළධාරී කාර්යාලවල නිර්දේශ හා කැමැත්ත මත ලබා දෙන්න කටයුතු කර තිබෙනවා. එම කාර්යය ඉතා සාර්ථකව සිදු වෙනවා.

මේ වන විට 1000 ට වැඩි සේවක පිරිසක් ඉන්න කර්මාන්ත ශාලා සදහා කඩිනමින් එන්නත්කරණය සිදුවෙනවා.
පළමුවෙනි කොවිඩ් රැල්ලෙ දි අපේ නිෂ්පාදන විදේශවලට යවා ගන්න විධියක් තිබුණේ නැහැ. දැන් තෙවෙනි රැල්ලේදී යුරෝපය කොවිඩ් තත්ත්වයෙන් අත් මිදිලා අපේ කර්මාන්තශාලා වලින් නිෂ්පාදන ඉල්ලනවා. හැකි පමණ එම ඉල්ලීම් සපුරාලීමට අප කටයුතු කළ යුතුයි.

අපිට දැඩි උවමනාවක් තිබෙනවා මෙම එන්නත්කරණ වැඩසටහන කඩිනම් කරන්න. අපි දැනට මිලියන තුනකට වැඩි ප්‍රමාණයක් එන්නත්කරණය කර අවසන් කරලා තිබෙනවා.

මීළග මාසේ සිට අපි බලාපොරොත්තු වෙනවා මසකට මිලියන දෙකක් එන්නත් කරන්න. මේ විධියට කරගන්න පුළුවන් වුණොත් මාස 06 න් ලංකාවම එන්නත්කරණය කරන්න පුලුවන් වෙයි කියලා විස්වාස කරනවා.

අපි ලංකාවේ කොවිඩ් 19 එන්නත නිෂ්පාදනය කරන්න කටයුතු සැලසුම් කරලා තිබෙන්නේ. නිර්දේශ ලැබෙනකල් ඉන්නේ. එම අවසරය ලැබුණොත් පිටරටින් එන්නත් ලැබෙනකල් ඉන්න අවශ්‍ය නැහැ. අපේ කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කරන එන්නත අපිට ලබා ගන්න පුලුවන්. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් එහි අවසර ගත යුතුයි. ඒ සදහා අපි යොමු වෙලා තිබෙනවා.
ඉදිරියේ දී තාක්ෂණික උද්‍යාන 05 ක් රට තුළ ස්ථාපිත කරනවා. එහි එක් තාක්ෂණික උද්‍යානයක් ඇගළුම් ක්ෂේත්‍රයේ තාක්ෂණය දියුණු කළ හැකි පරිදි ඒ සඳහා අවශ්‍ය මට්ටමට දියුණු කරනවා.
අපිට පසුව ඇගළුම් කර්මාන්තය බංග්ලාදේශය ආරම්භ කළත් තාක්ෂණය අතින් ඔවුන් අපිට වඩා ඉදිරියෙන් සිටිනවා. අපිත් ඒ තැනට ක්‍රමයෙන් යා යුතුයි.
මේ ක්ෂේත්‍රයේ ගැහැණු ළමයි තමයි ප්‍රමුඛ වෙලා අපේ ආර්ථිකය ශක්තිමත් කරන්න වැඩ කරන්නේ. අනිත් පැත්තෙන් මැදපෙරදිග ගිහින් අපේ ගැහැණු උදවිය අපේ ආර්ථිකය ශක්තිමත් කරන්න උර දෙනවා. කාන්තාවන් ප්‍රමුඛ ආර්ථික ශක්තියක් අපිට තිබෙන්නේ. ඒ සඳහා අවශ්‍ය සහයෝගය අපි ආණ්ඩුවක් විදියට දෙන්න ඕනේ. අපේ පැත්තෙන් උපරිම කැපවීම අප ලබා දෙනවා.
ලොක්ඩවුන් කියන තත්ත්වය රට තුළ ක්‍රියාත්මක නොකර සංචරණ සීමා පනවා තිබෙන්නේ ආර්ථිකය ආරක්ෂා කරගෙන ඉදිරියට යා යුතු නිසා යැයි අමාත්‍යවරයා මෙහි දී කියා සිටියේය.

මෙම අවස්ථාවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක, රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල, අධ්‍යක්ෂ ජනරාල් පසන් වනිගසේකර මහත්වරු ඇතුඵ පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *