දීර්ඝ කලක් රක්ෂිත බන්ධනාගාරවල සිටින තරුණ ජීවිතවලට ඇමති නාමල් සාධාරණයක් ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) –තීන්දුවක් නොමැතිව දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින තරුණ සැකකරුවන්ගේ ජීවිතවලට යම් සාධාරණයක් ඉටු කරන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලා සිටියේය.

නඩු නිමිත්තක්වත් නොමැතිව රක්ෂිත බන්ධනාගාරවල ඉතා දීර්ඝ කාලයක් ගත කරන පිරිස් සිටින බව කියාසිටි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, නඩු තීන්දුවේ දඬුවමට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ ගත කළ පුද්ගලයන් සිටින බව අනාවරණය කළේය.

මේ පිරිස අතර විශාල සංඛ්‍යාවක් එල්.ටී.ටී.ඊ සැකකරුවන් ද සිටින බව සඳහන් කළ අමාත්‍යතුමා, මේ අයට යම් සාධාරණයක් ඉටු කරන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියේය.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් ගෙන ආ මෙම යෝජනාවට ආශිර්වාද කරමින් සහය දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළ අතර අකිල ඉලංකෙයි තමිල් ක්‍රොංගසයේ මන්ත්‍රී ගජේන්ද්‍ර පොන්නම්බලම් මහතා ඊට වෙනස් මතයක් දරමින් කරුණු ඉදිරිපත් කළේය.

තරුණ කටයුතු අමාත්‍යවරයා ලෙස ගෙන ආ මෙම යෝජනාව දේශපාලන කෝණයෙන් බැලීමෙන් වළකින්නැයි ඉල්ලා සිටි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, පොන්නම්බලම් මන්ත්‍රිවරයා ඇතුළු එම සන්ධානයේ මන්ත්‍රීවරුන් සහය දුන් පසුගිය ආණ්ඩු කාලයේදීවත් මෙවැනි සාධාරණයක් ඉටු කර ගැනීමට නොහැකිවුණ නිසා මේ සඳහා දැන් ලැබෙන විසඳුමකින් ඔවුන්ගේ දේශපාලනය අභියෝගයකට ලක්වනු ඇති බවට ඉඟි පළ කළේය.

තම පියාටත් උගන්වාගන්න බැරිවුණ පාඩමක් තමන් රක්ෂිත බන්ධනාගාරගත කරමින් අද විපක්ෂය එදා ඔවුන්ගේ ආණ්ඩු කාලය තුළ තමන්ට ඉගැන්වූ බව සිහිපත් කළ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, ආණ්ඩුව කිසිවිටෙකත් ජනතා අසාධාරණයක් හමුවේ නිහඬව නොසිටින බවට විශ්වාසය පළ කළේය.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී කළ සම්පූර්ණ කතාව මෙසේය.

ගරු කථානායකතුමනි,

තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා විධියට රටේ තරුණ කොට්ඨාශයකට බලපාන සුවිශේෂී කාරණා කිහිපයක් පිළිබදව ඔබතුමාගේ ගරු අවධානයටත්, අධිකරණ ඇමතිතුමාගේ අවධානයටත් යොමු කරන්න මම බලාපොරොත්තු වෙන්නේ.

විශේෂයෙන්ම ගරු කථානායකතුමනි ඔබතුමා දන්නවා අපේ රටේ අධිකරණ පද්ධතිය තුළ සහ බන්ධනාගාර තුළ විශාල තරුණ පිරිසක් ඉන්නවා යම් යම් ප්‍රමාදවීම් නිසා ඇප ලබා ගැනීමට නොහැකි වූ සහ තමන්ගේ නඩු කටයුතු අවසන් කර ගැනීමට නොහැකි වූ අය.

ඒ අතර අපි දන්නවා ගරු කථානායකතුමනි, වසර ගණනාවක් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී සැක පිට විශාල පිරිසක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඉන්නවා.

ගරු කථානායකතුමනි,

පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේදී අපිවත් රක්ෂිත බන්ධනාගාරගත කළා යම් කාල සීමාවක්.

මම විතරක් නොවෙයි. ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යතුමා, උදය ගම්මන්පිල අමාත්‍යතුමා, විමල් වීරවංශ අමාත්‍යාතුමා, රෝහිත අබේගුණවර්ධන අමාත්‍යතුමා ඇතුලු විශාල පිරිසක්.

ඒ වෙලාවේ අපි බන්ධනාගාරය තුළ තිබෙන තත්ත්වය දැක්කා. ඔබතුමාලාට පිං සිද්ධ වෙන්න.

මම හැමදාම කියනවා අපේ තාත්තාටත් එතුමාට මට උගන්නන්න බැරි වෙච්ච පාඩමක් මෙතුමලා මට ඉගැන්නුවා.

ඒ තමයි මේ රටේ රක්ෂිත බන්ධනාගාරගතවන ජනතාව විඳින දුක ප්‍රායෝගික අත්දැකීමක් ඔබතුමාලා මට ලබා දුන්නා. ඉතිං මේ රක්ෂිත බන්ධනාගාරගත වෙලා ඉන්න පිරිස විශාල ප්‍රමාණයක් ඉන්නවා ගරු කථානායකතුමනි, නඩු නිමිත්තක්වත් නැති අය.

ඒ අතර විශේෂයෙන්ම එල්.ටී.ටී.ඊ සැක පිට විශාල ප්‍රමාණයක් ඉන්නවා. දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව නඩු විභාගවලින් අනතුරුව දඩුවම් විඳින සංඛ්‍යාව 35 යි.

හැබැයි මේ 35 දෙනාගෙන් බහුතරයක් තමන්ට ලැබිලා තිබෙන දඬුවමට වඩා වැඩි කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉදලා තිබෙනවා.

ඒ කියන්නේ තමන්ට ලැබිලා තිබෙන නඩු තීන්දුවේ දඬුවමට වඩා වැඩි කාල සීමාවක් රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉඳලා තිබෙනවා.

ඒ එක්කම දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරව සිටිමින් දැනට මහාධිකරණවල චෝදනා ගොනු කර තිබෙන නඩු 38 ක් තිබෙනවා.

ඒ කියන්නේ අවුරුදු 20 කට වැඩි කාලයක් මේ නඩු අහනවා. හැබැයි ඒ අය තවමත් රක්ෂිත බන්ධනාගාරගත කොට තමයි මේ නඩු අහන්නේ.
ගරු කථානායකතුමනි,

ඒ වගේම කිසිම නඩුවක් නොදාපු 13 දෙනෙකුත් ඉන්නවා. ඒ අතර පැමිණිලි කටයුතු, විභාග කටයුතු අවසන් කරලා අධි චෝදනා දාන්නෙ නැතිව 116 දෙනෙක් ඉන්නවා.

ඉතිං මේ අනුව බලනකොට ගරු කථානායකතුමනි, විශාල තරුණ පිරිසකගේ ජීවිත වල නොයෙක් වැරදි ඉතිහාසයක් තිබෙනවා වෙන්න පුළුවන්, සමහරු නොදැනුවත් කමින් වෙන්න පුලුවන්, සමහරු දැනුවත්ව වෙන්න පුලුවන්. හැබැයි වසර ගණනාවක් රක්ෂිත බන්ධනාගාර ගත වෙලා ඉන්නවා.

එක්කෝ මේ අයට සාධාරණව නඩු අහන්න ඕනේ. නඩු අහලා දඬුවම් දෙන්න ඕනේ. එහෙම නැත්නම් අධි චෝදනා දාන්න ඕනේ. එහෙම නැත්නම් අපිට මතකයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ 12,000 කට වැඩි පිරිසක් පුනුරුත්ථාපනය කරලා සමාජගත කළා.

ඒ අතර ගරු කථානායකතුමනි,
3500 කට අපි සිවිල් ආරක්ෂක බලකායේ රජයේ රැකියා දුන්නා. හැබැයි ඒ ඒ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයේ අවසාන කාලයේ සටන් බිමේ හිටපු අය.

හැබැයි මේ තියෙන බොහෝ පිරිස් අපිට බන්ධනාගාරයේ දී හමු වුනාම ඒ අයත් එක්ක කතා කරනකොට සමහරුන් රක්ෂිත බන්ධනාගාරගත වෙච්ච කාල සීමාව මගේ වයසටත් වැඩී. මේක තමා ඇත්ත කතාව.

හැබැයි අද වෙනකල් චෝදනා ගොනු කර ගන්න අපොහොසත් වෙලා තිබෙනවා. ඒ හින්දා ගරු කථානායකතුමනි, මම කාරුණිකව ඔබතුමාගේ අවධානය යොමු කරන්නේ මේ අයට යම් සාධාරණයක් වෙන්න ඕනේ.

එක්කෝ මේ අයගේ නඩු අහලා අවසන් කරන්න ඕනේ. එහෙමත් නැත්නම් මේ අය පුනුරුත්ථාපනය කරන්න ඕනේ. 12,000 ක් පුනුරුත්ථාපනය කරන්න පුළුවන් වුණා.

මම ඔබතුමාගේ අවධානයට එක කතාවක් කියන්නම්. බන්ධනාගාරයේදී හමුවුණ එක්තරා පුද්ගලයෙක්ගේ සිදුවීමක්.

ලංකාවේ ප්‍රභූ ඝාතනයකට සැක පිට ගෙනැල්ලා ඔහු වැරදිකාරයා වෙලා තිබෙනවා. ඔහුගේ කතාව අහනකොට ගරු කථානායකතුමනි, ඔහු කරපු වැරැද්ද තමයි ගහක අත්තක් කපපු එක. ගහේ අත්ත කපපු එක.

දැන් ගහේ අත්ත කපපු කෙනා වැරදිකාරයා වෙලා හිරේ ඉන්නවා. ප්‍රධාන සැකකාරයා සමාව අරගෙන ගෙදර ගිහිල්ලා තිබෙනවා. එතකොට ගහේ අත්ත කපපු කෙනා ඇතුලේ. වැඩේ කරපු කෙනා එළියෙ.

මේ නිසා මම ගෞරවයෙන් ඉල්ලන්නේ, ගරු අධිකරණ අමාත්‍යතුමා ඉන්නවා 12,500 ක් පුනුරුත්ථාපනය කරලා 3500ක් අපිට සිවිල් ආරක්ෂක බලකායට ගන්න පුලුවන් නම් මේ ඉන්න අයගේ නඩු ගොනු දිහා ගරු අමාත්‍යතුමනි, සානුකම්පිතව බලන්න.

අපි දන්නවා ඒ දාලා තියෙන චෝදනාවලට අනුකූලව අධිකරණයට ඇප දෙන්න බැහැ. එහෙමනම් නීතිපතිවරයාට යන්න ඕනේ. නීතිපතිවරයා මාර්ගයෙන් හරි , වෙනත් මාර්ගයකින් හරි, පුනුරුත්ථාපනය කරන ක්‍රමවේදයකට හරි ගරු අමාත්‍යතුමනි, මේ අයට සාධාරණයක් කරලා දෙන්න කියන කාරුණික ඉල්ලීම මම කරනවා.

අපේ ආණ්ඩුව කිසි දවසක ජනතාවට අසාධාරණයක් වෙන තැනක නිහඬව ඉන්නේ නෑ කියන එකත් මතක් කරන්න ඕනේ යැයි අමාත්‍යතුමා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *