රතු කුරුස සමාජය ඔක්සිජන් සාන්ද්‍රක උපකරණ 100 ක්

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ්-19 වයිරසය ආසාධිත අසාධ්‍ය රෝගීන් වෙනුවෙන් භාවිතයට ගැනීම සඳහා ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ඔක්සිජන් සාන්ද්‍රක උපකරණ (Oxygen Concentrators -10 L) 100 ක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඊයේ (22) අරලියගහ මන්දිරයේ දී භාරදුන්නේය.

ශ්‍රී ලංකා රතු කුරුස සමාජය වෙනුවෙන් එහි සභාපති ජගත් අබේසිංහ මහතා විසින් අදාළ ඔක්සිජන් සාන්ද්‍රක උපකරණ තොගය ගරු අග්‍රාමාත්‍යතුමාට භාර දෙන ලදි. සහෝදර රතු කුරුස සමාජ වලින් කළ ඉල්ලීමකට අනුව සිංගප්පූරු රතු කුරුස සමාජයෙන් මෙම ඔක්සිජන් සාන්ද්‍රක උපකරණ (Oxygen Concentrators -10 L) 10 පරිත්‍යාග කර තිබේ.

අග්‍රාමාත්‍යතුමාගේ ඉල්ලීම පරිදි ඉදිරි සති කිහිපයේදීත් සහෝදර රතු කුරුස සමාජ ඔස්සේ තවත් වෛද්‍ය උපකරණ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ සභාපති ජගත් අබේසිංහ මහතා මෙහි දී පැවසීය.

ශ්‍රී ලංකා රතු කුරුස සමාජය භාරදුන් මෙම ඔක්සිජන් සාන්ද්‍රක උපකරණ තොගය අග්‍රාමාත්‍යතුමා විසින් එම මොහොතේදීම කොවිඩ් වැළඳුණු රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා යොදා ගැනීමට සෞඛ්‍ය ඇමැතිතුමියට භාර දුන්නේය.

කොවිඩ්-19 වයිරසය මෙරට ව්‍යාප්තිය ආරම්භ වූ දා පටන් ජනතාව ඉන් ආරක්ෂාකර ගැනීමට හා සහන සැළසීමට ශ්‍රී ලංකා රතු කුරුස සමාජය විසින් විශාල කාර්යභාරයක් ඉටුකරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen − six =