තානාපතිවරුන් 02 ක්, අමාත්‍යාංශ ලේකම්වරු 03 ක් සහ සභාපතිවරයෙකුට පාර්ලිමේන්තුවේ අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) – රජය විසින් තානාපති කාර්යාල සඳහා නම් කළ තානාපතිවරුන් 02 ක්, අමාත්‍යාංශ 03 ක් සඳහා නම් කළ ලේකම්වරුන්ට සහ සභාපතිවරයෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිල තල කමිටුවේ අනුමැතිය හිමිවූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා නිවේදනය කරයි.

ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (23) පැවති උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් මෙම අනුමැතිය ලබා දී තිබේ.

එම කමිටු රැස්වීමට සභානායක සහ ගරු විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගරු මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනානාදු මහතා, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා, රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා, සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්ලිව්. සී.ජේ. සෙනවිරත්න සහ අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරු සහභාගී වූහ.

එහිදී කමිටුව හමුවට කැඳවා තිබූ බ්‍රසීලයේ නව ශ්‍රී ලංකා තානාපති ඩී.එම්. සුමිත් දසනායක මහතාටත්, ඉරානයේ නව ශ්‍රී ලංකා තානාපති ජී.එම්.වී. විශ්වනාත් අපොන්සු මහතාටත් අනුමැති හිමි වූ බව මහ‍ ලේකම්වරයා පැවසීය.

වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එස්. විදානපතිරණ මහතාද පොහොර නිශ්පාදන සහ සැපයුම් රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එම්.එන්. රණසිංහ මහතාද, වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මොටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එස්.එම්.ඩී.එල්.කේ. ද අල්විස් මහතාද පත් කිරීම උසස් නිල තල පිළිබඳ කාරක සභාව අනුමත කර තිබේ.

මෙයට අමතරව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ධූරයට පත්වූ අනූෂ පැල්පිට මහතාටද අනුමැතිය හිමි වූ බව ම‍හ ලේකම්වරයා සඳහාන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *