වරාය අධිකාරියේ නව සභාපති ජය බහලු පර්යන්තයේ හදිසි නිරීක්‍ෂණයක

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පත් වූ කපිතාන් නිහාල් කැප්පෙටිපොල මහතා පසුගිය දා වරායේ අංශ කිහිපයක හදිසි නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

1990 වසරේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට එක්වී වසර 25 කට වඩා වැඩි කාලයක්, නාවික නියමුවකුව සිට කළමණාකාර අධ්‍යක්‍ෂ ධූරය දක්වා විවිධ තනතුරු දරමින් කටයුතු කොට ඇති ඒ මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පත්වීම, විශේෂයෙන් ම වරාය සේවක ප්‍රජාවගේද හා වරාය නාවික හා සමුද්‍රීය ක්‍ෂේත්‍රයේ ව්‍යාපාරික හා නාවික ප්‍රජාවගේ නොමද ප්‍රසංශාවට ලක්ව තිබේ.

මෙම නිරීක්‍ෂණ චාරිකාව ජය බහලු පර්යන්තයේ හා මෙහෙයුම් කොට්ඨාශයේ සේවක මහතුන්ගේ අභිප්‍රේෂණය වැඩි කිරීමටත් ඒ තුළින් රාජකාරී සඳහා සේවක උනන්දුව වර්ධනය කිරීමටත් හේතු විය .

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්‍ෂ (මෙහෙයුම්) ලාල් වීරසිංහ මහතා විසින් නව සභාපතිතුමන් ජය බහළු ප්‍රධාන ගොඩනැගිලි පරිශ්‍රයේ දී පිළිගත් අතර ජය බහලු මෙහෙයුම් මැදිරියේ වත්මන් ක්‍රියාකාරීත්වය ප්‍රථමයෙන් ඔහුගේ නිරීක්‍ෂණයට ලක් වි ය.

ඉන්පසුව පර්යන්ත සැළසුම් අංශය ද තොරතුරු පද්ධති කොට්ඨාශයේ කටයුතු ද එතුමාගේ අවධානයට ලක් විය.

ජය බහලු පර්යන්තයේ මෙහෙයුම් කටයුතු නිරීක්‍ෂණය කළ සභාපතිතුමන් එහි අදියර I, II, III, IV නෞකා මෙහෙයුම් පොළවල් හා පර්යන්ත අද්දර දොඹකර ද නිරීක්‍ෂණය කළේ ය. ජය බහලු පර්යන්තයේ අදියර IV දීර්ඝ කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව ද නිරීක්‍ෂණය කෙරිණි.

ජය බහලු පර්යන්තය නිරීක්‍ෂණය අවසානයේදී එහි කළමණාකාරීත්වය හා සේවක පිරිස් අමතමින් ඔහු ප්‍රකාශ කළේ “ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු තමා හඳුනාගත් ප්‍රධානම සම්පත නම් මානව සම්පත බවයි.” ලෝකයේ හොඳම වරායයන් අතර ප්‍රමුඛ වරායක් ලෙසට කොළඹ වරාය පත්වීමට හැකියාව ලැබී ඇත්තේ එම සම්පත නිසා බව ඔහු පැවසී ය.

ඒ අනුව, ඉතා නුදුරේදීම, වත්මන් සේවකයින් වෙත පසුගිය වසර කිහිපයක් තිස්සේ අතපසු කොට ඇති උසස්වීම්, විෂමතාවයන් හා සේවා ස්ථානවල සුභසාධන හා පරිපාලන ගැටළු වලට විසදුම් ලබා දෙන බව පැවසී ය. සෑම සේවකයකුටම තම ආත්මාභිමානයෙන් යුතුව ඉතා කැමැත්තෙන් හා සතුටින් සිය රැකියාව සිදු කරන ස්ථානයක් ලෙසට වරාය අධිකාරිය පත් කරන බව ද හෙතෙම අවධාරණය කළේ ය.

මේ සඳහා සෑම දෙනාම එක්ව කටයුතු කළ යුතු බවත්, ඒ සඳහා සෑම දෙනාගේ ම සහාය තමන්ට අවශ්‍ය බවත් ප්‍රකාශ කළේ ය. එවිට පෙර ලෙසම නැවත වරාය තුළ කාර්යක්‍ෂම හා ඵලදායිතාවයෙන් යුතු මෙහෙයුම් ක්‍රියාවලියක් ස්ථාපිත කළ හැකි බවට ඔහු විශ්වාසය පල කළේ ය.

සුභ සාධන හා කාර්මික සම්බන්ධතා කොට්ඨාශය යටතේ ඇති මධ්‍යම මුළුතැන් ගෙවල් අංශය ද සභාපතිතුමාගේ නිරීක්‍ෂණයට ලක් වි ය. එහි දී මුළුතැන් ගෙවල් අංශයේ ආහාරපාන සැකසෙන ආකාරය ද නිරීක්‍ෂණය කළේ ය. එහි මාසික මිලදී ගැනීම් ටෙන්ඩර් මණ්ඩලය හා සැපයුම්කරුවන් ද ආමන්ත්‍රණය කළ සභාපති නිහාල් කැප්පෙටිපොල මහතා දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටියේ මිල ගැන අවධානය සේම වරාය සේවකයා සඳහා හොඳ ආහාර හා තේ වේලක් ලබාදීම සඳහා හොඳ ගුණාත්මක ද්‍රව්‍ය සැපයිය යුතු බවයි. එම ඉලක්ක සපුරා ගැනීමට සෑම කෙනෙකුම තමා සමග එක්වනු ඇති බවට ඔහු සිය විශ්වාසය පල කළේ ය.
මෙම අවස්ථාවන් සඳහා ප්‍රධාන කළමණාකරු (බහලු මෙහෙයුම්) ජයන්ත වීරවික්‍රම, ප්‍රධාන කළමණාකරු (තොරතුරු පද්ධති) නිර්මාල් ෆොන්සේකා යන මහත්වරුන් ද මෙහෙයුම්, තොරතුරු පද්ධති, සුභසාධක යන කොට්ඨාශවල උසස් නිලධාරීන් හා සේවක මහතම මහත්මීන් ද වෘත්තිය සමිති නියෝජිතයින් ද ඇතුළු පිරිසක් සහභාගි වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *