එරාවුර් ඇගළුම් කර්මාන්ත උද්‍යානයේ නිෂ්පාදන ආරම්භ කිරීමට සැලසුම්

(කොළඹ, ලංකාපුවත්) – එරාවුර් ඇගළුම් කර්මාන්ත උද්‍යානයේ නිෂ්පාදන කටයුතු වසරක් තුළ ආරම්භ කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ සදහා අවශ්‍ය කඩිනම් පියවර ගන්න යැයි තමන් ආයෝජන මණ්ඩලයට උපදෙස් දී ඇතැයි ද ඇමතිවරයා සදහන් කරයි.

එරාවුර් පුන්නකුඩා ප්‍ර දේශයේ අක්කර 265 කින් සමන්විත භූමි ප්‍ර දේශයක මෙම ඇගළුම් කර්මාන්ත උද්‍යානය පිහිටුවීමට රජය සැලසුම් කර තිබේ. මහා පරිමාණ කර්මාන්ත ශාලා 10 කින් එය සමන්විතයි. සෘජු රැකියා අවස්ථා 5000 ක් සහ වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් මෙමගින් බිහිවන බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

කලාපයේ අභ්‍යන්තර සංවර්ධනය හා කළමණාකරණය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සිදු කරයි. බාහිර යටිතල පහසුකම් සංවර්ධනය ක්‍රියාත්මක කරන්නේ කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය විසිනි.

මෙම ප්‍ර දේශය ආශ්‍රිතව සිදු කෙරෙන යටිතල පහසුකම් සංවර්ධන කටයුතු පසුගිය දා ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ නිරීක්ෂණයට ලක්විය. එහි දී ඇමතිවරයා උපදෙස් දුන්නේ මෙම යටිතල පහසුකම් සංවර්ධනයට සමගාමී ව කර්මාන්ශාලා ඉදිකිරීමට ද ආයෝජකයන්ට අවස්ථාව ලබාදෙන ලෙසයි.

වසරක කාලයක් තුළ මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට කටයුතු කරන ලෙස ද ඇමතිවරයා උපදෙස් දුන්නේය. එම ආයෝජන කලාපයට සමාන්තරව පවතින වෙරළ තීරය සංචාරක ආකර්ෂණිය වෙරළ තීරයක් ලෙස සංවර්ධනය කරන ලෙසත්, සංචාරකයන්ට වෙරළ ආශ්‍රිත ක්‍රියාකාරකම් සදහා එය උපයෝගි කර ගැනීමට හැකිවන වැඩපිළිවෙලක් සකස් කරන ලෙසත් උපදෙස් දුන්නේය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි අවධාරණය කළේ මෙරට මුළු අපනයන ආදායමින් 44%ක් ගෙන එන්නේ ඇගළුම් කර්මාන්තය බවයි. එය වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 5ක් මෙරටට ජාතික ආදායමට එක් කරයි.

මෙරට ඇගලුම් නිෂ්පාදන කර්මාන්ත ශාලා 600 ක් පමණ ඇතත් රෙදිපිළි හා අමු ද්‍රව්‍ය නිෂ්පාදන කම්හල් ඇත්තේ 6 ක් පමණි.මෙරට ඇගළුම් කර් මාන්තයට අවශ්‍ය අමු ද්‍රව්‍ය චීනය, ඉන්දියාව, තායිවානය, ඉන්දුනීසියාව වැනි රටවලින් ආනයනය කරයි.මෙම රටවල්ද ඇගළුම් නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත වන බැවින් පවතින ගෝලීය තරගකාරී බව හේතුවෙන් අමුද්‍රව්‍ය නිසි වේලාවට ලබා ගැනීමේ අපහසුතා ද ඇත. එසේම ශ්‍රී ලංකාව ඇගළුම් කර් මාන්තයට අවශ්‍ය රෙදිපිළි හා අමු ද්‍රව්‍ය ආනයනය වෙනුවෙන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 2.8 ක් පමණ වැය කරයි. මෙම රෙදිපිළි නිෂ්පාදන උද්‍යානය ක්‍රියාත්මක වීමත් සමග වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් පමණ ඉතිරි කරගත හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවත් රජය රුපියල් බිලියන 05 ක් ආයෝජනයකින් මෙම ඇගළුම් කර්මාන්ත උද්‍යානය ආරම්භ කරන්නේ ඒ නිසා බවත් ඇමතිවරයා මෙහි දී කීවේය. මෙම ඇගළුම් කර්මාන්ත උද්‍යානය පරිසර හිතකාමී කර්මාන්ත උද්‍යානයක් ලෙස සංවර්ධනය කරන බවත් ඔහු වැඩිදුරටත් කීවේය.

මෙම අවස්ථාවට සහභාගි වූ ගුවන්සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා රජය සැමවිටම ආයෝජකයින් හා සේවකයින් ආරක්ෂා කරන බවත්, මේ වන විට නැගෙනහිර පලාතේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල සියළු සේවකයින් එන්නත් කර අවසාන බව පැවසීය. දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයින්ට මෙරට තුල ආයෝජනය සදහා පහසුකම් වැඩි කරන බවත් අගනුවරින් බැහැරව මෙවැනි ප්‍රදේශ සංවර්ධනයට නතු කිරීම කාලින අවශ්‍යතාවයක් බවද පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × three =