එක්ස්ප්‍රස් පර්ල් නිසා සිදුවූ ආර්ථික හානිය පිළිබඳ කමිටුවේ වාර්ථාව සතියක් ඇතුලත

(කොළඹ, ලංකාපුවත්) – MV -X Press Pearl නෞකාවේ හටගත් ගින්න හේතුවෙන් සිදු වු බලපෑම හා හානිය සම්බන්ධයෙන් සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි වන්දි ලබා ගැනීම හා ඊට අදාළ නෛතික කටයුතු සිදු කිරීම සඳහා පැවති සාකච්ඡාමය ක්‍රියාවලියට අදාල කරුණු සම්බන්ධයෙන් සහ එහි ප්‍රගතිය විමසා බැලීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් අද(05) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ඒ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර යන මහත්වරුන්ගේ හා නීතිපති ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතාගේ සහභාගිත්වයෙනි.

MV -X Press Pearl නෞකාවේ ඇති වු ගින්නෙන් මෙරටට සිදු වු හානිය සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීම සදහා සිදු කර ඇති කාර්යයන් හා මේ වන විට ලැබී ඇති වන්දි මුදල් බෙදාදීම, ආර්ථිකයට, ධීවර ප්‍රජාවට, පරිසරයට සිදු වු හානි තක්සේරු කිරීම සඳහා පත් කළ කමිටු විසින් සිදු කර ඇති කටයුතු පිළිබඳව මෙන්ම, වන්දි ලබා ගැනීමේ කටයුතු සිදු කිරීමේ නීතිමය තත්වය අධ්‍යයනයට පත් කළ කමිටුවේ කටයුතු පිළිබදව විශේෂ අවධානයක් යොමු විය.

අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මේ වන විට ලැබී ඇති වන්දි මුදල් බෙදා හැරීමේදි පීඩාවට පත් ධීවර ජනතාව වෙත ප්‍රමුඛතාවයක් ලබා දෙන බවත් අධිකරණ අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

නෞකාවේ ඇති වු ගින්න හේතුවෙන් මේ වන විටත් සාගරය තුළ ගිලී ඇති කන්ටේනෙර් තුළ ඇති අවදානම් සහිත ද්‍රව්‍ය ඇත්නම් ඒවා ඉවත් කිරීම පිළිබදව මෙහිදී අවධානය යොමු වු අතර, ඒ සඳහා කඩිනමින් අවශ්‍ය කටයුතු සිදු කළ යුතු බවත්, යම් හෙයකින් ඒවා මුහුදු ජලය සමඟ මිශ්‍ර වුවහොත් යළිත් මුහුදු වෙරළ අපවිත්‍ර වීමෙන් පාරිසරික හානි මෙන්ම ධීවර ප්‍රජාව තවදුරටත් පීඩාවට පත් විය හැකි බවත් ඒ සඳහා කඩිනම් පියවර ගැනීම අත්‍යවශ්‍ය බවත් , එහිදී අධිකරණ අමාත්‍යතුමා සඳහන් කළේය.

ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරීය, නාරා ආයතනය, වරාය අධිකාරීය, පරිසර අධිකාරීය, වෙළඳ නාවික ලේකම් කාර්යාලය නියෝජනය කරමින් විශේෂ කමිටුවක් පත් කළ අතර එහි නියෝජිතයින් කඩිනමින් වාර්තාවක් ඉදිරි දින කිහිපය තුළ ලබා දිය යුතු බවටත් මෙහිදී තිරීණය විය.

අදාළ වන්දි මුදල් ලබා ගැනීමේදී ආර්ථිකයට වී ඇති හානිය පිළිබඳව තොරතුරු වාර්තා කිරීමට පත් කළ කමිටුවේ වාර්තාව මෙම සතිය තුළ ලබා දෙන බව මෙහිදී සඳහන් වූ අතර සිදු ව ඇති හානිය පිළිබදව අධ්‍යනය කිරීම සඳහා මෙරටට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර විශේෂඥයින් විසින් ඒ සඳහා සිදු කර ඇති අධ්‍යයනයන් පිළිබදව මෙහිදි අවධානය යොමු අතර ඔවුන් විසින් ලබා දෙනු ලබන වාර්තාවන් ද යොදා ගනිමින් ඉදිරි කටයුතු සිදු කිරීම පිළිබදව මෙහිදී සාකච්ඡා විය.

මෙම සාකච්ඡාව සදහා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නෙ මහතා, වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් U.D.C. ජයලාල් මහතා , නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ හා අපද්‍රව්‍ය බැහැරලීමේ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රි නිමල් පෙරේරා මහතා, සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය ඇතුළු විවිධ ආයතන නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 1 =