භානුක රාජපක්ෂට අත්හිටවූ ක්‍රීඩා තහනමක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ වූ කොන්ත්‍රාත් ගිවිසුමේ කොන්දේසි උල්ලංඝණය වන පරිදි කටයුතු කර ඇති බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුකරනු ලැබූ විනය පරීක්ෂණයේදී අදාළ සියලු චෝදනා සඳහා වරද පිළිගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි-20 කණ්ඩායම් නියෝජනය කරනු ලබන භානුක රාජපක්ෂ හට වසරක ක්‍රිකට් තරග තහනමක් පැනවීමටත් එකී තරග තහනම වසර දෙකක කාලයක් සඳහා අත්හිටුවීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

ඊට අමතරව ඇමරිකානු ඩොලර් පන්දහසක මුදලක් දඩයක් ලෙස අයකර ගැනීමටද තීරණය කර ඇත.

භානුක රාජපක්ෂ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ අත්සන් තබා ඇති ගිවිසුම ප්‍රකාරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ව අවසරයකින් තොරව ප්‍රසිද්ධ මාධ්‍යයක හෝ සමාජ මාධ්‍යයන් හමුවේ පෙනී සිටිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපකීර්තියට පත් කරමින් කටයුතු කිරීම මඟින් ගිවිසුමේ වගන්ති උල්ලංඝණය කරමින් කටයුතු කිරීම භානුකට එරෙහිව ඉහත දඬුවම නියම කිරීමට හේතු වී තිබේ.

මේ අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත දේශීය සහ විදේශීය තරග සංචාරයන් ඉලක්ක කර ගනිමින් ක්‍රීඩකයින් 13 දෙනෙකුගේ සහභාගිත්වයෙන් යුක්තව ජෛව බුබුලක් යටතේ කොළඹදී ක්‍රියාත්මක වන ක්‍රිකට් පුහුණු සංචිතයට භානුක රාජපක්ෂ ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ජාතික සංචිතයන් සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීම් සිදුකිරීම උදෙසා හඳුන්වා දෙන ලද ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය භානුක රාජපක්ෂ සමත්වී ඇති බැවින් ඔහුව එම පුහුණු සංචිතයට ඇතුළත් කර තිබෙන අතර ඔහු හෙට දිනයේදී එම ජෛව බුබුලට සම්බන්ධ වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 + four =