බංග්ලාදේශ මහකොමසාරිස් ආරක්ෂක ලේකම් හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – අභිනවයෙන් පත් වූ ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස් තාරික් මුහම්මඩ් ආරිෆුල් ඉස්ලාම් මහතා අද (05) ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා ප්‍රථම වරට ශ්‍රී ජයවර්ධනපුර පිහිටි ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයෙදී හමුවිය.

සුහද පිළිගැනිමකින් අනතුරුව ආරක්ෂක ලේකම් සහ මහ කොමසාරිස්වරයා අතර ද්විපාර්ශ්විකව වැදගත් කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක් සිදුවිය.

දෙරට අතර පවතින හමුදාමය හා රාජ්‍යත්‍රාන්තික සබදතා තවදුරටත් ශක්තිමත් කර ගැනිමේ වටිනාකම ද ආරක්ෂක ලේකම්වරයා විසින් ඉස්මතු කරන ලදි.

මේ අතර, මෑත කාලීනව බංග්ලාදේශය දකුණු ආසියානු කලාපය තුළ අත්කරගෙන ඇති ආර්ථික සංවර්ධනය ජෙනරල් ගුණරත්න මහතා පැසසුමට ලක් කළේය.

නව ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ යොදාගෙන ඇති ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳව මහ කොමසාරිස්වරයාගේ පැසසුමට ලක්වූ අතර මෙම ගොඩනැගිල්ල කලාපයේ සුවිශේෂී ස්ථානයක් ගන්නා බවද ප්‍රකාශ කරන ලදි.

මේ අවස්ථාව සඳහා හමුදා සම්බන්ධතා නිලධාරී බ්‍රිගේඩියර් දිනේෂ් නානායක්කාර, ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු මුහම්මඩ් ෂෆියුල් බාරි යන මහත්වරු ද සහභාගි විය.

සාකච්ඡාවලින් අනතුරුව මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සිහිවටන හුවමාරු කර ගැනීමද සිදුවිය.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම සඳහා ලබාදී ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම හමුවීම පවත්වන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *