ශ්‍රී ලංකාව ට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇ ඩො මිලියන 150ක්

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් -19 එන්නත්කරණ සහ ඒ ආශ්‍රිත කටයුතු සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 150ක ණය මුදලක් ලබා ගැනීමට අදාළ ගිවිසුමට අත්සන් තබා තිබේ.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර් ආටිගල මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂ චෙන් චෙන් මහතා ඊයේ (09) දිනයේ එම ගිවිසුමට අත්සන් තබා ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

ආසියානු පැසිෆික් එන්නත් ප්‍රවේශ පහසුකම යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 84ක් සහ නිත්‍ය දේශීය ප්‍රතිපාදනවලින් ඇමරිකානු ඩොලර් මිලියන 66ක් ලෙස එම ණය මුදල සමන්විත වන බව අමාත්‍යාංශය පැවසීය.

එන්නත්කරණය සඳහා වන පිරිවැය පියවා ගැනීම සඳහා මෙන්ම එන්නත් ආශ්‍රිත අධීක්ෂණ පද්ධති ස්ථාපිත කිරීම, ශීතාගාර සහිත ප්‍රවාහන පහසුකම් සැපයීම සහ සායනික අපද්‍රව්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම ඇතුළු තවත් අනුබද්ධ ක්‍රියාකාරකම් කිහිපයක් සඳහා එම ණය අරමුදල් යෙදවිමට නියමිතය.

සමස්ථ ව්‍යාපෘති පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 161.85ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, එයින් ඇමරිකානු ඩොලර් මිලියන 11.85ක මුදලක් රජය විසින් දැරීමට ද එකඟ වී ඇති බව සඳහන් වේ.

කොවිඩ් -19 වෛරසය පැතිරීම අවම කිරීම, රෝගී බව හා මරණ අවම කිරීම සහ ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 වසංගතයේ සෘණාත්මක සෞඛ්‍ය, සමාජ හා ආර්ථික බලපෑම් අවම කිරීම සඳහා සෞඛ්‍ය පද්ධතියේ ප්‍රත්‍යස්ථතාව සහ ප්‍රතිචාරාත්මක බව වැඩි දියුණු කිරීම මෙමගින් අපේක්ෂිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *