සෞඛ්‍ය රෙගුලාසි තවදුරටත් ලිහිල් කරයි

(කොළඹ, ලංකාපුවත්) – දැනට පවතින සංචරණ සීමා ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත.

ඒ අනුව තවදුරටත් අන්තර් පළාත් සංචරණ සීමාකිරීම් දින 14කින් දීර්ඝ කර තිබෙන අතර පන්සල්, පල්ලි හා කෝවිල් ආදී පූජනිය ස්ථාන විවෘත කිරීමට අවසර ලබා දී තිබේ.

මංගල උත්සව පැවැත්වීමට අවසර ලබාදී ඇති අතර එය ශාලාවේ ආසන ධාරිතාවෙන් 25%ක් වන පරිදි හෝ උපරිම පුද්ගලයින් 150ක සංඛ්‍යාවකට යටත්ව පැවැත්විය හැකිය.

වැඩමුළු, සම්මන්ත්‍රණ හා සන්නාම දියත් කිරීම ආදිය පැවැත්වීමට අවසර ලබා දී ඇත. ඒ සඳහා සහභාගීත්වය 50දෙනෙකු ට සීමා කර තිබේ.

අවන්හල් සඳහා පැවති රෙගුලාසි ලිහිල් කර තිබෙන අතර එම ස්ථානය තුළම අනුභව කිරීමට ඉඩ සලසන අවන්හල විවෘත කිරීමට ද අවසර දී ඇත.

සියලූම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ක්‍රියාකාරීත්වය නව සාමාන්‍යකරණයට අනුකූල වන ලෙස පවත්වාගෙන යෑමට වග බලාගත යුතු බවත් ඒ අනුව අවම සේවක සංඛ්‍යාවකින් කටයුතු කළ යුතු අතර අවශ්‍යතාවය මත ආයතන ප්‍රධානියාට සේවයට ගෙන්වාගත හැකි සේවකයින් ප්‍රමාණය තීරණය කළ හැකි බවත් එම නව මාර්ගෝපදේශ වල ඇතුළත්ය.

කොවිඩ් ආසාදිත නොවන මෘතදේහවල අවමංගල්‍ය කටයුතු සඳහා අවසර හිමි වන අතර අදාළ දේහය මුදාහැර පැය 24ක් ඇතුළත අවසන් කටයුතු සිදුකළ යුතුය. ඒ සඳහා පුද්ගලයින් 50 දෙනෙකුට සහභාගී වීමේ හැකියාව පවතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *