දරුවන්ගේ ආරක්ෂාව ග්‍රාම නිලධාරි මට්ටමින් ශක්තිමත් කරන්න

(කොළඹ, ලංකාපුවත්) –ළමයින් මෙහෙකාර සේවයේ යෙදවීම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය බලතල ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට ඊයේ (5) උපදෙස් දුන්නේය.

දරුවන්ගේ ආරක්ෂාව ග්‍රාමීය මට්ටමින් ශක්තිමත් කළ යුතු බවද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා රේඛීය ආයතන සමඟ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (5) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

අනිවාර්ය කර තිබෙන පෙර පාසල්, පාසල් හා දහම් පාසල් අධ්‍යාපනයට සියලු දරුවන් යොමු කරවීමටත්, ළමුන් පාසල් නොයැවීමට හේතු සොයා බලා ඊට පිළියම් යෙදීම ළමා ආරක්ෂක අධිකාරිය සතු ප්‍රධාන වගකීමක් බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

ළමා මෙහෙකාර සේවය පිළිබඳ අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව ඉන් ඉහළ ප්‍රතිශතයක් වතු ආශ්‍රිත දරුවන් බැවින් මේ තත්ත්වය වළක්වා ගැනීමට අවශ්‍ය බලතල ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් ක්‍රියාත්මක විය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, වතු ආශ්‍රිත පවුල්වල තොරතුරු ග්‍රාම නිලධාරීන් සතු බැවින් යම් නිවෙසක දරුවකු නැති බවට ලැබෙන තොරතුරු මත ඒ පිළිබඳ කඩිනමින් ක්‍රියාත්මක වී ළමා මෙහෙකාර සේවය නැවැත්වීමට පියවර ගත යුතු බවද කීවේය.

ළමා හා කාන්තා හිංසනයන් වැළැක්වීමට රාජ්‍ය අමාත්‍යාංශය ගෙන යන වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළ රාජපක්ෂ මහතා, වෙනත් රටවල ළමා සංවර්ධනය සඳහා කර ඇති පර්යේෂණ අධ්‍යයනය කර නාගරිකව හා ග්‍රාමීයව එම ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව සොයා බලන්නැයිද නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

සියලු ආගම්වලට අයත් ළමුන් දහම් පාසල් වෙත යොමු කිරීමෙන් ලැබෙන අධ්‍යාත්මික ගුණ වගාව තුළින් දරුවන් හා මවුපියන් අතර සම්බන්ධය ශක්තිමත් කළ හැකි බවද ජනාධිපතිවරයා පැවසීය.

එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති දරුවන් ඉන් මුදා ගත යුතු බවත් ඊට සමගාමීව ඔවුන් ඒ සඳහා පෙළඹ වීමට බලපෑ සාධක අධ්‍යයනය කර පිළියම් යෙදීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

සේවා ස්ථාන වශයෙන් ගෙන කාන්තා හිංසනය පිළිබඳ දැනුම්වත් කිරීම, මවුවරුන් විදේශගත පවුල්වල දරුවන් පිළිබඳ විශේෂ සැලකිල්ලට ලක් කිරීම, හිංසනයට ලක්විය හැකි බවට සැක සහිත පවුල්වල දරුවන් පිළිබඳ පෙර හඳුනා ගැනීමේ අවශ්‍යතාව පවතින බවද හෙතෙම කීවේය.

‘සෞභාග්‍යයේ දැක්ම‘ ප්‍රකාරව ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය එළිදැක්වීමට අවශ්‍ය සියලු කටයුතු නිම වෙමින් පවතින බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතා මෙහිදී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවෙසේදී පිලිස්සීමට ලක් වී මිය ගිය දැරිය වෙනුවෙන් නිවෙසක් ඉදි කර දීමට හා පවුලේ ආර්ථික තත්ත්වය නඟා සිටුවීමටත්, සහෝදරියන් දෙදෙනකුට ස්වයං රැකියා අවස්ථා උදා කර දීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ඒ මහතා සඳහන් කළේය.

ළමා හා ස්ත්‍රී අපයෝජන වැළැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග, ඒ හා සම්බන්ධ අධිකරණ කටයුතු කඩිනම් කිරීමට ගෙන ඇති පියවර පිළිබඳ ද ඇමැතිවරයා විසින් පෙන්වා දෙනු ලැබිණ. ළමා ආරක්ෂක අධිකාරිය හා රේඛීය ආයතනවල කාර්ය සාධනය පිළිබඳ ජනාධිපතිවරයා දැනුම්වත් කරනු ලැබීය.

ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර, රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. එස්. ඩී. ජයසේකර, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ යන මහත්ම මහත්මීහු සහ අදාළ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ඇතුළු නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 + four =