යුනියන් ඇෂුවරන්ස් 2021 ප්‍රථම මාස 6 තුළ ඉහළම නිත්‍ය ව්‍යාපාර වර්ධනයක් වාර්තා කරයි

(කොළඹ, ලංකාපුවත්) –යුනියන් ඇෂුවරන්ස් සමාගම, මෙරට වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වශයෙන්, සාර්ථක ලෙස මෙම මූල්‍ය වර්ෂයේ ප්‍රථම මාස 6 ක කාලය අවසන් කිරීමට සමත් විය.

දැනට රට තුළ පවතින COVID-19 රෝග ව්‍යාප්තිය හේතුවෙන් එදිනෙදා කටයුතු අතිශයින් සීමා වී පවතින තත්ත්වයක් හමුවේ පවා, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්ෂණ සමාගම් 5 අතරට එක්වී සිටින සමාගමක් ලෙස, නිත්‍ය නව රක්ෂණ වාරික වල 65% ක වර්ධනයක් වාර්තා කරගැනීමට යුනියන් ඇෂුවරන්ස් සමාගමට හැකියාව ලැබී ඇත.

2021 ජූනි මස 30 වන දිනෙන් අවසන් වූ මාස 6 ක කාලය තුළ, යුනියන් ඇෂුවරන්ස් සමාගමේ GWP අගය රු. බිලියන 6.5 ක් ලෙස වාර්තා වී තිබේ. මෙය මීට පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 29% ක වර්ධනයකි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුනියන් ඇෂුවරන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජූඩ් ගෝම්ස් මහතා මෙසේ පැවසී ය. “ඉහළ මට්ටමේ ක්‍රියාකාරීත්වයක් සමගින්, මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම් 5 අතර වේගයෙන්ම වර්ධනය වන සමාගම බවට පත්වීම ඉලක්ක කරගත් ක්‍රමෝපායික උත්සාහය නිසා මේ ආකාරයට, 2021 ජනවාරි මාසයේ සිට ජූනි මාසය දක්වා කාලය තුළ සාර්ථක මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරගැනීමට අපට හැකියාව ලැබී තිබෙනවා. ඩිජිටල් පරිවර්තනය වෙනුවෙන් ක්‍රියාත්මක කළ වැඩසටහන් මෙන්ම, ගනුදෙනුකරුවන්ට දුරස්ථ ක්‍රමයට සේවාවන් සැලසීම සඳහා ක්‍රියාවට නැංවූ පැය 24 පුරා ක්‍රියාත්මක ත්‍රයිභාෂික ඇමතුම් මධ්‍යස්ථානය, ඔන්ලයින් චැට්බොට් සේවාව, WhatsApp, Clicklife ස්වයං සේවා යෙදවුම, සහ Clicklife ඩිජිටල් රක්ෂණය වැනි සේවාවන්ද මෙම සාර්ථකත්වයට විශාල දායකත්වයක් ලබාදී ඇති බව පැහැදිලියි. ඩිජිටල්කරණයේ පිටිවහල සමගින්, COVID-19 සම්බන්ධ හිමිකම් මුදල් ඉල්ලීම් ඇතුළුව රු. බිලියන 1.7 කට අධික වටිනාකමකින් යුත් හිමිකම් මුදල් ඉල්ලීම් පියවීමට අපට හැකියාව ලැබුණා. එමෙන්ම කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව උදෙසා COVID-19 විධිවිධාන අකුරටම පිළිපදින අතරම, ඔවුන්ගේ උපරිම දායකත්වය සමගින් අපගේ පාර්ශ්වකරුවන් උදෙසා වගකීම් හා යුතුකම් නිසි පරිදි ඉටුකිරීමට අප කිසිසේත්ම අමතක කළේ නැහැ.”

යුනියන් ඇෂුවරන්ස් සමාගමේ GWP අගය සම්බන්ධ පංච වාර්ෂික සංයුක්ත වාර්ෂික වර්ධන අනුපාතය (CAGR) 13% ක් වීම, එහි තිරසාර වර්ධනයට මනා සාක්ෂියකි. එමෙන්ම සමාගමේ බදු-පසු ලාභය පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ ප්‍රථම අර්ධය තුළ 19% කින් ඉහළ ගොස් ඇති අතර, බදු-පෙර ලාභය රු. මිලියන 462 ක් ලෙස සටහන් වී තිබේ. සමාගමේ ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතය 300% ක් වන අතර, මෙය අවම නියාමන අවශ්‍යතා මට්ටම වන 120% ට වඩා පැහැදිලිවම ඉහළ අගයකි.

ක්‍රමෝපායික කාර්යසාධන ඉලක්ක වලට අමතරව, ප්‍රජා සත්කාරයන් හා මානව සම්පත් සම්බන්ධයෙන්ද කැපීපෙනෙන ප්‍රගතියක් අත්කර ගැනීමට යුනියන් ඇෂුවරන්ස් සමාගම සමත් වී ඇත. පසුගිය කාලය තුළ ගංවතුරෙන් විපතට පත් ජනතාව අතර ආහාරවේල් 3,000 කට අධික ප්‍රමාණයක් බෙදාදීමට සමාගම කටයුතු කළ අතර, COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් වලට අත්‍යවශ්‍ය වන උපකරණ පරිත්‍යාග කිරීමටද කටයුතු කළේ ය.

මානව සම්පත් සම්බන්ධයෙන් ගත්විට, රැකියා ස්ථානය තුළ කාටත් සමාන අවස්ථා සහතික කිරීම සඳහා විවිධත්වය හා අන්තර්කරණය ප්‍රවර්ධනය කිරීමට යුනියන් ඇෂුවරන්ස් පියවර ගෙන තිබේ. එමෙන්ම රැකියාවට බඳවා ගැනීමේ සහ කාර්ය මණ්ඩලයේ දැනුම වර්ධනය කිරීමේ වැඩසටහන් පුළුල් කරන ලද අතර මේ සියල්ල හේතුවෙන් අඛණ්ඩව 9 වන වසරටත් Great Place to Work සහතිකය හිමිකර ගනිමින් ආසියානු කලාපයේ රැකියාව කිරීමට සුදුසුම සමාගම් අතරින් එකක් ලෙස ඇගයීමට ලක්වීමට යුනියන් ඇෂුවරන්ස් සමාගමට හැකියාව ලැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *