අවුරුදු 20ට වැඩි ජනගහනයෙන් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පිරිස කෝටිය ඉක්මවයි

(කොළඹ, ලංකාපුවත්) –වයස අවුරුදු 20ට වැඩි මෙරට ජනගහනයෙන් කෝටියක සංඛ්‍යාවක් ඊයේ (8) වන විට පූර්ණ එන්නත්කරණයට ලක් කර අවසන් බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි වසංගත විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ඊයේ (08) පැවසුවේය.

වයස අවුරුදු 20ට වැඩි මෙරට ජනගහනයෙන් 12,952,755ක් පෙරේදා (07) වන විට කොවිඩ් මර්දන පළමු එන්නත් මාත්‍රාව ගෙන ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කළේය. වයස අවුරුදු 30ට වැඩි මෙරට ජනගහනයෙන් සියයට සියයක් ආවරණය වන පරිදි කොවිඩ් මර්දන පළමු එන්නත් මාත්‍රාව ද, සියයට 82ක් ආවරණය වන ලෙස දෙවැනි එන්නත් මාත්‍රාව ද මේ වන විට දී අවසන් යැයි හෙතෙම පැවසීය. කොවිඩ් මර්දන පළමු සහ දෙවැනි මාත්‍රා 429,515ක් පෙරේදා (7) දින දී තිබේ. කොවිෂීල්ඩ් පළමු මාත්‍රාව 2373 ක් ද, දෙවැනි මාත්‍රාව 332ක් ද, සයිනොෆාම් පළමු මාත්‍රාව 126,272ක් ද, දෙවැනි මාත්‍රාව 278,788ක් ද, ස්පුට්නික් දෙවැනි මාත්‍රාව 375ක් ද, ෆයිසර් පළමු මාත්‍රාව 834 ක් ද, දෙවැනි මාත්‍රාව 19,956 ක් ද, මොඩර්නා පළමු මාත්‍රාව 30 ක් ද, දෙවැනි මාත්‍රාව 555ක් ද ලෙස දී තිබිණි.

මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 60ක් ආවරණය වන ලෙස පළමු එන්නත් මාත්‍රාව ද, සියයට 40ක් ආවරණය වන ලෙස දෙවැනි මාත්‍රාව ද දී අවසන් බවත් කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන ඉතා සාර්ථකව රට පුරා ක්‍රියාත්මක වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. වයස අවුරුදු 60ට වැඩි ජනගහනයේ එන්නත්කරණ වැඩසටහන ද ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන අතර නිවෙස්වලින් බැහැර වීමට නොහැකි නොයෙක් ආබාධවලින් පෙළෙන පුද්ගලයන් පිළිබඳ ග්‍රාමසේවා වසම් මට්ටමින් තොරතුරු ලබාගෙන අදාළ ස්ථානවලට ගොස් එන්නත ලබාදීම ද මේ වන විට සාර්ථකව කරයි. කොවිඩ් මර්දන එන්නත ගැනීමට පෙලඹෙන ජනතාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ද, එය ප්‍රශංසනීය කරුණක් යැයි ද හෙතෙම පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *