ශ්‍රී ලංකාවට විශාල ආර්ථික ජයග්‍රහණයක් අත් කර ගත හැකියි

(කොළඹ, ලංකාපුවත්) –අපනයන සඳහා පහසුකම් සැලසීම, ව්‍යවසායකත්ව දිරි ගැන්වීම සහ සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට නිවැරදි ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන්නේ නම් ශ්‍රී ලංකාවට විශාල ආර්ථික ජයග්‍රහණයක් අත් කර ගත හැකි බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අලීනා බී. ටෙප්ලිට්ස් මහත්මිය අවධාරණය කර තිබේ.

ආර්ථික හා සමාජීය නවෝත්පාදනයන් සඳහා ශ්‍රී ලාංකිකයන්ගේ අවධානය වැඩි වෙමින් පවතින අතර පසුගිය වසර තුන තුළ එය වඩාත් ශක්තිමත් වූ බවද ඇය අවධාරණය කළාය.

අලීනා ටෙප්ලිට්ස් මහත්මිය මෙසේ පැවසුවේ පසුගිය සතියේ ‘අවෙයර්නස් ඉනිෂියේටිව්’ සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

කොවිඩ් 19 වසංගතය හඳුන්වාදුන් ආර්ථික ගැටලු විසඳීම සඳහා ශ්‍රී ලංකාවට බාහිර ආර්ථික දැක්මක් අවශ්‍ය බව ඇය මෙහිදී සඳහන් කළාය.

ශ්‍රී ඇඟලුම් අංශයේ විශාල පරිමාණයේ නවෝත්පාදනයක් දක්නට ලැබෙන අතර එමඟින් ශ්‍රී ලාංකික ව්‍යාපාර හිමියන් ගෝලීය වශයෙන් සැබවින්ම නමක් දිනාගෙන ඇති බව පැවසූ ටෙප්ලිට්ස් මහත්මිය වසංගතය අතරතුරදී පවා ලාංකික ව්‍යවසායකයන් නැවත ගොඩනැගීමට මෙන්ම වෙනත් නිර්මාණාත්මක දේ කිරීමට හැකි බව පෙන්වා දී ඇති බව ද පැවසුවාය.

අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර වෙළඳ සබඳතා පිළිබඳ අදහස් දක්වමින් තානාපති ටෙප්ලිට්ස් පැවසුවේ එක්සත් ජනපදය සෑම විටම එම සම්බන්ධතාව ශක්තිමත් කර ගැනීමට සහ දෙයාකාර මාවතක් බවට පත් කිරීමට අවස්ථා සොයන බවයි.

ඊට ඇඟලුම්වලින් ඔබ්බට ගිය අංශවල හැකියාවන් ඇති බව පෙන්වා දුන් ඇය ස්ථාවර ප්‍රතිපත්ති සම්පාදනය සමඟ විනිවිද පෙනෙන ආර්ථික පරිසරයක් වගා කිරීම තුළින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව තරගකාරී වනු ඇති බව සඳහන් කළාය.

මානව හිමිකම් ගැටලු පිළිබඳ අදහස් දක්වමින් ඇය කියා සිටියේ ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාවලියට සහයෝගය දැක්වීමට එක්සත් ජනපදය කැප වී සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *