පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකිවයුත්තන්ට බේරී යෑමට ඉඩ දෙන්නේ නැහැ – ආරක්ෂක ලේකම්

(කොළඹ, ලංකාපුවත්) –සාක්ෂිවල නොගැළපීම් හෝ ප්‍රමාණවත් සාක්ෂි නැති වීම හේතුවෙන් වගකිවයුත්තන් පැන නොයන ලෙස සහතික වීම සඳහා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පුළුල් ලෙස කළ යුතු බව ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.

මේ ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පැවසූ ආරක්ෂක ලේකම්වරයා අධිකරණය හමුවේ ඔවුන්ට එරෙහි නඩුව කිසිදු සැකයකින් තොරව ඔප්පු කළ නොහැකි වුවහොත් අපරාධකරුවන් පලා යනු ඇති බවත් ප්‍රකාශ කළේය.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා මෙසේ ප්‍රකාශ කළේ ආරක්ෂක අමාත්‍යාංශයේදී ඊයේ (9) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

වගකිවයුත්තන්ට දඬුවම් දීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් කාදිනල්වරයා නඟන චෝදනා සම්බන්ධයෙන් මෙහිදී අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේ උන්වහන්සේගේ මතය එය විය හැකි නමුත් පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණවල සෑහීමකට පත්විය හැකි ප්‍රගතියක් අත්පත් කර ගැනීමට ආරක්ෂක අංශ සමත්ව ඇති බවය.

කාදිනල්වරයා එම ප්‍රකාශය කළ පසුව බුද්ධි අංශ සහ පොලිස් නිලධාරීන් කතෝලික බිෂොප්වරුන් හමුවේ පැය හතරක පමණ පැහැදිලි කිරීමක් කළ අතර, එම පැහැදිලි කිරීම් සම්බන්ධයෙන් බිෂොප්වරුන් සෑහීමට පත්ව ඇති නමුත් අවාසනාවකට මෙන් කාදිනල්වරයා එම හමුවට සහභාගි වී නැති බවත් ගුණරත්න මහතා පැවසීය.

කාදිනල්වරයාට යුක්තිය ඉටුවීම සම්බන්ධයෙන් අවශ්‍යතාවක් ඇතැයි යන්න තේරුම් ගත හැකි නමුත් සාක්ෂි නොගැළපීම් නිසා සැකකරුවන්ට පලා යෑමට ඉඩ තැබිය නොහැකි ආකාරයට පරීක්ෂණ පැවැත්විය යුතු බවත් ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේය.

මීට සති දෙකකට පෙර නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සංඝරත්නයටත් අරලියගහ මන්දිරයේදී ඒ ආකාරයටම කරුණු පැහැදිලි කිරීමක් කළ බවත් උන්වහන්සේලාද ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත් වූ බවත් ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේය.

මේ පරීක්ෂණ පැවැත්වෙන අතරතුරේ ඇති වන තර්ජන මෙතෙකැයි කිව නොහැකි බව පැවසූ ගුණරත්න මහතා එක්තරා ප්‍රසිද්ධ නීතිඥවරයකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පවා දැනුම් දී තිබෙන බව පැවසීය.

මේ ප්‍රහාරය ජනාධිපතිවරයා බලයට ඒමට කළ කුමන්ත්‍රණයක් ලෙසට මතයක් ගොඩනැඟීමට ඇතැමුන් උත්සාහ කරන බව පැවසූ ගුණරත්න මහතා බොරු මතවාදවලට නොරැවටෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ප්‍රකාශ කළේය.

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශය ගැන මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලෙසින් ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේ හිටපු නීතිපතිවරයා වුව අවශ්‍ය වුවහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීමට කටයුතු කෙරෙනු ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *