රට තුළ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 280ක් හා කුඩා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 25,000ක්

(කොළඹ, ලංකාපුවත්) – රට තුළ මහා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘති 280ක් හා කුඩා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘති 25,000ක් ක්‍රියාත්මකවන බව සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

දිවයිනපුරා සිදුවන සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය නිරීක්ෂණය කිරීමේ කටයුතු ඊයේ(09) යාපනය දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරමින් සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

පවතින වසංගත තත්ත්වය සාර්ථකව පාලනය කරන අතර ම අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ඉදිරිපත් කළ මෙරට සංවර්ධන වැඩපිළිවෙල යටතේ දිවයින පුරා සංවර්ධන යෝජනා ක්‍රම රැසක් ක්‍රියාත්මක වේ.

එම සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයාබැලීම සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යවරයා වශයෙන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවේ.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය.

අතිගරු ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ උපදෙස් හා මගපෙන්වීම අනුව කොවිඩ් වසංගතය පාලනයට සෞඛ්‍ය විශේෂඥයන් හා සියලුම සෞඛ්‍ය අංශ සමග එක්ව විශාල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනු ලබනවා.

ඒ අනුව, රට තුළ කොරෝනා වසංගත තත්ත්වය සාර්ථකව පාලනය කරමින් දිවයිනපුරා දිනකට අවම වශයෙන් එන්නත්කරණ මධ්‍යස්ථාන 400 කදී පමණ එන්නත්කරණය කිරීමේ වැඩසටහන් ඉතාමත් ම සාර්ථකව ක්‍රියාත්මක වෙනවා.

ලෝකය විශ්වාස කරන අන්දමට කොරෝනා වසංගතයට එන්නත්කරණය සිදුකොට එහි ව්‍යාප්තිය පාලනය කර සෞභාග්‍යයේ දැක්ම හරහා ලබාදුන් රටේ සංවර්ධන හා ආර්ථික සංවර්ධන සැලැස්ම ඉදිරියට රැගෙන යන්න අපි කටයුතු කරනවා.

මේ වනවිටත් මහා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘති 280කට වැඩි ප්‍රමාණයක් සහ ග්‍රාමීය මට්ටමින් කුඩා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘති 25,000කට වැඩි ප්‍රමාණයක් සෑම අමාත්‍යාංශයකින් ම පළාත් පාලන ආයතන දක්වා ක්‍රියාත්මක වෙනවා.

දිවයිනපුරා සිදුවන එම සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය අධීක්ෂණය කිරීම අද යාපනය දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන ව්‍යාපෘති අධීක්ෂණයෙන් ආරම්භ කරනවා.

ඒ අනුව, යාපනය දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති සිදුවන ආකාරය, ඒවායේ අඩුපාඩු සහ ප්‍රමාද දෝෂයන් ඇත්නම් හඳුනාගෙන එම ව්‍යාපෘති කඩිමින් අවසන් කිරිමට කටයුතු කරනවා.

රටේ ජනතාවට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් ආණ්ඩුවත් ලබාදුන් එම සංවර්ධනීය බලාපොරොත්තුව යථාර්ථයක් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා.

ඉදිරි කාලසීමාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා ගරු කැබිනට් අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ආශිර්වාදයෙන් රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට අවශ්‍ය ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කරනවා.

ඒවගේ ම සෑම සංවර්ධන යෝජනා ක්‍රමයක් ම කඩිනමින් සහ නිවැරදිව ක්‍රියාත්මක වීම සහ නියමිත ප්‍රමිතියෙන් හා නියමිත කාලවකවානුවල දී එම ව්‍යාපෘති අවසන් කිරීම පිළිබඳව අධීක්ෂණය කරමින් ගමේ ජනතාවගේ බලාපොරොත්තු ඉටුකරනවා.

දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා එම සංවර්ධන ව්‍යාපෘති අද අපේ රටේ ක්‍රියාත්මක වෙනවා.

යාපනය දිස්ත්‍රික්කයේ මේ වනවිටත් එන්නත්කරණ වැඩසටහන්වල පළමු දෙවන මාත්‍රා ලබාදීම සහ තරුණ ප්‍රජාවේ එන්නත්කරණ කටයුතු සිදුවෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය දෙනු ලබන උපදෙස් පිළිපදින්න. ඒ අනුව නව සාමාන්‍යකරණයත් සමග කටයුතු කරන්න යැයි මා යාපනයේ දිස්ත්‍රික්කයේ ජනතාවගෙනුත් ඉල්ලනවා.

මේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න අපි රටක් ජාතියක් ලෙස එකට එක්වෙමු යැයි එහිදී අමාත්‍යවරයා සියලුදෙනාට ආරාධනා කර සිටියේය.

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම පිළිබඳව එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට අමාත්‍යවරයා මෙසේ පිලිතුරු ලබාදුන්නේය.

අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල පාලනය සඳහාත් යම්කිසි කෙනෙක් භාණ්ඩ සගවාගෙන සිටී නම් ඒ පිළිබඳව දැඩිව නීතිය ක්‍රියාත්මක කර පාරිභෝගිකයාගේ අයිතිය තහවුරු කරන ලෙසත් අතිගරු ජනාධිපතිතුමා විශේෂයෙන් බන්දුල ගුණවර්ධන ඇමතිතුමාට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ වගේම දේශීය කෘෂිකර්මාන්තය වගේම දේශීය නිෂ්පාදන හා ව්‍යාපාරිකයන් අද ශක්තිමත් වී තිබෙනවා.

මේ තුළ ඉදිරි කාලසීමාවේ දී අපේ රටේ දේශීය ආර්ථිකය ශක්තිමත් කළ හැකි බවට අපි විශ්වාස කරනවා.

කෙනෙක් හිතා මතා අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල වැඩි කරනවා නම් ඊට විරුද්ධව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව කටයුතු කරනවා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අංගජන් රාමනාදන්, සුරේන් රාඝවන් යන මහත්වරුන් සහ යාපනය දිස්ත්‍රික් දිසාපති රාගවන් මහතා ඇතුළු නිලධාරී මහත්ම මහත්මීහු පිරිසක් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *