60ට වැඩි නම් හැකි ඉක්මනින් එන්නත ගන්න – සෞඛ්‍ය ඇමති

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් මර්දනය සඳහා දෙන කිසිදු එන්නත් මාත්‍රාවක් මේ වන තෙක් නොගත් වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටි පුද්ගලයන් හැකි ඉක්මනින් එන්නත ගැනීම සඳහා යොමු වන ලෙස සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මෙම වයස් කාණ්ඩයේ සිටින පුද්ගලයන්ට කොවිඩ් වයිරසයේ අවදානම ඉතා ඉහළ බවත් කොවිඩ් ආසාදිතව සිදු වන වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටි මරණවලින් බහුතරයක් කොවිඩ් මර්දන කිසිදු එන්නත් මාත්‍රාවක් ලබා නොගත් අය බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටි පුද්ගලයන් අවදානම් සංකූලතා සහිත අය නිසා හැකි ඉක්මණින් එන්නත ලබා ගැනීමට යොමු විය යුතු බවත් එන්නත ලබාගැනීමෙන් සිදු වන මරණ සහ සංකූලතා අවම කර ගත හැකි බවත් ඇමැතිවරයා කීය.

එන්නත්කරණ මධ්‍යස්ථානවලට පැමිණීමට නොහැකි වයෝවෘද්ධ පුද්ගලයන් සිටින නිවෙස්වලට ගොස් එන්නත ලබාදීම ජනාධිපතිවරයාගේ උපදෙස් මත සිදු කරන්නේ යැයි ද, මෙම වයිරසයෙන් වැඩිහිටියන් ආරක්ෂා කර ගැනීමට රජයක් විදියට කළ හැකි සියලු පියවර ගෙන ඇත්තේ යැයි ද ඇමැතිවරයා පැවසුවේය.

නිවෙස්වල වයෝවෘද්ධ දෙමාපියන් හෝ වැඩිහිටියන් සිටින්නේ නම් කරුණාකර එන්නත්කරණයට ලක් කරන ලෙසට ඉල්ලීමක් කරන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *