අවු.12-19 දරුවන් එන්නත්කරණය අදියර තුනකින්

(කොළඹ, ලංකාපුවත්) –වයස අවුරුදු 12ත් 19ත් අතර දරුවන්ට අදියර තුනක් යටතේ කොවිඩ් මර්දන ෆයිසර් එන්නත දීම මේ මස අග ආරම්භ කළ හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පැවසීය.

සංකූලතා වැඩි ආබාධ සහිත දරුවන්ට පළමු අදියර යටතේත්, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ දරුවන්ට දෙවැනි අදියර යටතේත්, සංකූලතා නොමැති සුවෙන් සිටින සෙසු දරුවන්ට තෙවැනි අදියර යටතේත් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා කීය.

පළමු අදියර යටතේ එන්නත්කරණය සිදු කරන සංකූලතා සහිත දරුවන් 30,000ක් 34,000ක් පමණ සිටින බවත් ඔවුන්ට එන්නත් ලබාදීම රිජ්වේ ආර්යා ළමා රෝහල ඇතුළු මූලික රෝහල්, දිස්ත්‍රික් රෝහල්, පළාත් රෝහල්, ශික්ෂණ රෝහල්වලින් සිදු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

දරුවන් එන්නත්කරණයට ලක් කිරීම විශේෂඥ කමිටුවල තීරණයන්ට අනුව සිදු කරන නිසා ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගත යුතු බව ද ඔහු පැවසුවේය.

පාසල් ආරම්භ කිරීම සහ දරුවන් එන්නත්කරණය සම්බන්ධයෙන් පසුගිය සතිය තුළදී සෞඛ්‍ය අමාත්‍යවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡාවක් පැවැත්වූ බවත් ජනාධිපතිවරයා සමඟ පවත්වන කොවිඩ් මර්දන කාර්ය සාධන බළකා රැස්වීමේදී මේ ගැන අවධානය යොමු කරන බවට සෞඛ්‍ය අමාත්‍යවරයා තම සංගමය වෙත ප්‍රකාශ කළ බවත් ඒ මහතා පැවසුවේය.

දරුවන්ට එන්නත් කරන්නේ නම් ප්‍රමුඛතාව ලබාදිය යුතු කාණ්ඩය කුමක්ද යන්න සොයා බැලීමට එක් විශේෂඥ වෛද්‍ය කමිටුවක් ද, පාසල් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් සොයා බලන කමිටුවක් ද ලෙස කමිටු දෙකක් ජනාධිපතිවරයා පත් කළ අතර එම කමිටු දෙකේම සභාපතිවරයා වනුයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා බව ද ඔහු කීය.

පත් කළ මෙම කමිටුවල වාර්තාවන් එළැඹෙන 17 වැනිදා ජනාධිපතිවරයා වෙත බාරදීම සිදු කරන බවත් තම සංගමයේ යෝජනා අදාළ තාක්ෂණික කමිටුවලට බාරදීම සිදු කරන බවත් හෙතෙම පැවසීය.

නිදන්ගත රෝග ඇති දරුවන්ට, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ දරුවන්ට එන්නත්කරණයේ දී ප්‍රමුඛතාව දිය යුතු බවට සංගමයේ යෝජනාව බවත් තාක්ෂණික කමිටුවල අවසන් තීරණ එළැඹෙන 17 වැනිදා ජනාධිපතිවරයා වෙත බාරදෙන බවත් ඔහු කීය.

දැනට නියම වී ඇති පරිදි ෆයිසර් එන්නත දරුවන්ට ලබාදීම සුදුසු බව ද ඔහු පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *