පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන නඩු විභාගය ඔක්. 04 ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරවලට වගකිව යුතු යැයි සැක කෙරෙන විසි පස්දෙනකුට එරෙහිව අධි චෝදනා ගොනු කරමින් කොළඹ මහාධිකරණයේ පැවරූ නඩුව ඔක්තෝබර් 04 දින කැඳවීමට විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඊයේ (13) දින නියම කළේය.

දේවස්ථාන ඇතුළු දිවයිනේ ස්ථාන අටකට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට එරෙහිව රජය වෙනුවෙන් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අධි චෝදනා 23,270ක් යටතේ මෙම නඩුව ගොනු කරන ලදී.

කොළඔ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතාගේ සභාපතිත්වයෙන් මහාධිකරණ විනිසුරු අමල් රණරාජා හා මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විතව විශේෂ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල මෙසේ නඩුව කැඳවීමට දින දී ඇත.

සැකකාර චුදිතයන්ට සිතාසි නිකුත් කර ඉදිරි දිනයකදී අධි චෝදනා බාරදීමට නියම කරන බව ප්‍රධාන රෙජිස්ටාර්වරයා පැවසීය.

නවුෆර් මවුලවි, සජීඩ් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ, අලියස් ගවුපර් මාමා, මොහොමඩ් සනස් දීන් හා මොහොමඩ් රිස්වාන් ඇතුළු විසිපස් දෙනකුට මෙම අධි චෝදනා ගොනුකර ඇත. පාස්කු දින දේවස්ථාන ඇතුළු දිවයිනේ ස්ථාන අටකට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් වගකිවයුතු හා කුමන්ත්‍රණය කිරීමෙන්, බරපතළ තුවාල සිදුකිරීම, මිනි මැරීමට තැත් කිරීම හා මිනී මැරුමට අධාර අනුබල දීම යන ත්‍රස්තවාදී ක්‍රියා ඇතුළු දණ්ඩ නීති සංග්‍රහයේ වැරදි සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ මෙම නඩුව පවරා ඇත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව අධිචෝදනා 864ක් යටතේ නඩු දෙකක් කොළඹ මහාධිකරණයේ පවරා ඇති අතර තවත් විත්තිකරුවන් දස දෙනකුට එරෙහිව මඩකළපුව මහාධිකරණයේ නඩුවක් පවරා ඇත. එම නඩු විභාග කිරීම සඳහා විශේෂ ත්‍රි පුද්ගල විනිසුරුවරුන් මණ්ඩල අගවිනිසුරුවරයා විසින් පත්කර ඇති අතර එම නඩු කොළඔ හා මඩකළපුව මහාධිකරණවල විභාග වෙමින් පවති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *