ඉන්දීය – ශ්‍රී ලංකා ඒකාබද්ධ යුද අභ්‍යාසයක්

(කොළඹ, ලංකාපුවත්) –“මිත්‍ර ශක්ති” ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ යුද අභ්‍යාසයේ 08 වන අදියර ඔක්තෝම්බර් 04 සිට 15 දක්වා අම්පාර සටන් පුහුණු පාසලේදී පැවැත්වේ.

මෙම අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ බලඇණියක් සමඟ ඉන්දීය හමුදාවේ 120 ක භටයින් පිරිසක් සහභාගී වන බව ඉන්දිය ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වටන බව ඉන්දියා නිවුස් නෙට්වර්ක් වාර්තා කරයි.

මෙම අභ්‍යාසයේ අරමුණු වන්නේ දෙරටේම හමුදා අතර සමීප සබඳතා ප්‍රවර්ධනය කිරීම,කැරලි මර්දන හා ත්‍රස්ත විරෝධී මෙහෙයුම් වලදී අන්තර් ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කිරීම සහ ප්‍රශස්ථ භාවිතයන් හුවමාරු කර ගැනීමයි.

මෙම අභ්‍යාසයට ජාත්‍යන්තර කැරලි මර්දන හා ත්‍රස්ත විරෝධී වාතාවරණයක උප ඒකක මට්ටමින් උපායශීලී මෙහෙයුම් ඇතුළත් වේ.

එය දකුණු ආසියානු ජාතීන් දෙක අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා සඵලදායි ප්‍රවේශයකි. දෙපාර්ශවය අතරම බිම් මට්ටමේ සහයෝගීතාව සහ දීර්ඝකාලීන සහයෝගීතාවයට උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරන බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මෙම යුද අභ්‍යාසයේ 07 වන අදියර 2019 දී මහාරාෂ්ට්‍රයේ (ඉන්දියාවේ) පූනේහි විදේශ පුහුණු නෝඩ් හිදී පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *