වයස අවුරුදු 18 ත් 19 ත් වයස් කාණ්ඩයේ දරුවන් එන්නත් කිරිම ලබන 21 වැනිදා සිට

(කොළඹ, ලංකාපුවත්) –අවුරුදු 18 ත් 19 ත් වයස් කාණ්ඩයේ පාසල් ළමයින් එන්නත් කිරිම ලබන 21 වැනිදා සිට ආරම්භ කෙරේ. ඉගෙනුම ලබන පාසලේදිම එන්නත් ලබාගැනිමට සියලු දරුවන්ට අවස්ථාව සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞඛ්‍ය බලධාරින්ට දැනුම් දී තිබේ.

කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග විඩියෝ තාක්ෂණය ඔස්සේ අද පැවති රැස්විමේදි එතුමා මේ බව සදහන් කළේය. සෑම පාසලකදිම සිදු කෙරෙන එන්නත්කරණය වෛද්‍යවරයෙකුගේ අධික්ෂණය යටතේ සිදුවිය යුතුය. එම වයස් කාණ්ඩයේ පාසල් හැරගිය දරුවන් එන්නත්කරණය ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් සිදු කෙරේ.

මේ වනවිට වයස අවුරුදු 60 ට වැඩි ජනගහනයෙන් සියයට සියයක් හා 30 ට වැඩි ජනගහනයෙන් සියයට 98 ක් එන්නත ලබාගෙන ඇති බවට අනාවරණය වී තිබේ.

වයස අවුරුදු 20 ත් 30 ත් අතර එන්නත් ලබා නොගත් පිරිස කඩිනමින් එන්නත්කරණයට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ලබන 21 වැනිදා දක්වා පැවතිය යුතු බවට කොවිඩ් කමිටුවේ තීරණය විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve + 14 =