2021 නොබෙල් සාම ත්‍යාගය මාධ්‍යවේදීන් දෙපළකට

(කොළඹ, ලංකාපුවත්) –ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ස්ථිරසාර සාමය සඳහා පූර්ව කොන්දේසියක් වන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සුරැකීමට ගත් උත්සාහය වෙනුවෙන් මාරියා රෙසා සහ දිමිත්‍රි මුරතොව්ට 2021 සඳහා වූ නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීමට නෝර්වීජියානු නොබෙල් කමිටුව තීරණය කර තිබේ.

පිලිපීනයේ සහ රුසියාවේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සඳහා වූ නිර්භීත අරගලය හේතුවෙන් මෙලෙස රෙසා මහත්මියට සහ මුරතොව් මහතාට සාම ත්‍යාගය පිරිනමා ඇත.

මාරියා රෙසා තම මව්බිම වන පිලිපීනයේ බලය අයුතු ලෙස භාවිතා කිරීම, ප්‍රචණ්ඩත්වය සහ වර්ධනය වන අධිකාරීවාදය හෙළිදරව් කිරීමට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස භාවිතා කරයි. 2012 දී ඇය තවමත් මෙහෙයවනු ලබන ගවේෂණාත්මක පුවත්පත් කලාව සඳහා වූ ඩිජිටල් මාධ්‍ය සමාගමක් වන ‘රැප්ලර්’ සම-ආරම්භය කළාය. මාධ්‍යවේදිනියක් ලෙස සහ රැප්ලර්හි ප්‍රධාන විධායක නිලධාරිනියක් ලෙස, රෙසා ප්‍රකාශ කිරීමේ නිදහසේ නිර්භය ආරක්ෂකයෙකු බව පෙන්නුම් කර ඇත. ඩුටර්ටේ පාලන තන්ත්‍රයේ මතභේදයට තුඩු දුන් මිනීමරු මත්ද්‍රව්‍ය විරෝධී ව්‍යාපාරය ගැන රැප්ලර් දැඩි අවධානය යොමු කර තිබේ. මරණ සංඛ්‍යාව කෙතරම් ඉහළ ද යත්, එම ව්‍යාපාරය රටේ ම ජනගහනයට එරෙහිව කළ යුද්ධයකට සමාන ය. රෙසා මහත්මිය ද රැප්ලර් සමාගම ද ව්‍යාජ ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීමට, විරුද්ධවාදීන්ට හිරිහැර කිරීමට සහ පොදු කතිකාවන් හැසිරවීමට සමාජ මාධ්‍ය භාවිතා කරන ආකාරය පෙන්වා දී ඇත.

දිමිත්‍රි මුරටොව් දශක ගණනාවක් තිස්සේ රුසියාවේ කතා කිරීමේ නිදහස, අභියෝගාත්මක කොන්දේසි යටතේ ආරක්ෂා කළේය. ඔහු, 1993 දී ආරම්භ කළ ‘නොවාජා ගැසෙටා’ නම් ස්වාධීන පුවත්පතේ නිර්මාතෘවරයෙකි. 1995 සිට ඔහු වසර 24ක් මුළුල්ලේ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළේය. ‘නොවාජා ගැසෙටා’ අද රුසියාවේ ඇති වඩාත්ම ස්වාධීන පුවත්පතයි. කරුණු පදනම් කරගත් පුවත්පත් කලාව සහ වෘත්තීය අඛණ්ඩතාව නිසා එය රුසියානු සමාජයේ වාරනය කරන අංශ පිළිබඳව තොරතුරු හෙළි කරන වැදගත් තොරතුරු මූලාශ්‍රයක් බවට පත්ව තිබේ. 1993 දී නෝවාජා ගැසෙටා ආයතනය ආරම්භයේ සිටම දූෂණය, පොලිස් ප්‍රචණ්ඩත්වය, නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, මැතිවරණ වංචා සහ රුසියාව තුළ සහ ඉන් පිටත රුසියානු හමුදා භාවිතාය දක්වා වූ විෂයයන් පිළිබඳව විවේචනාත්මක ලිපි ප්‍රකාශයට පත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *