පාසල් විවෘත කළ යුතුයි යන ස්ථාවරයේ ආණ්ඩුව සිටිනවා – ඇමති නාමල්

(කොළඹ, ලංකාපුවත්) –ආණ්ඩුවක් විදියට අපි පැහැදිලිවම පාසල් විවෘත කළ යුතුයි යන ස්ථාවරයේ සිටින බව තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ විසින් ඊයේ (15) සංවිධාන කළ ‘‘රටට ණය නැති වැඩ කරන පරපුරක්‘‘ වෘත්තීය මාර්ගෝපදේශ සතිය නිමිත්තෙන් පැවති තරගාවලියේ ජය සංකේත ප්‍රදානයෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු ලබා දෙමින් මේ බව පැවසීය.

එම අවස්ථාවේ දී මාධ්‍ය මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට අමාත්‍යවරයා මෙසේ පිළිතුරු ලබාදුන්නේය.

මාධ්‍යවේදියා : පාසල් දරුවන් සදහා එන්නත්කරණය සිදු කරනගෙන යනවා. මේ 21 වෙනිදා පාසල් විවෘත කරන්න පුලුවන් වෙයිද?

“රජය සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡා කර පාසල් විවෘත කරන්න අවශ්‍යයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා. වසර දෙකකට ආසන්න කාලයක් පාසල් වසා තිබුණා. තරුණ අමාත්‍යාංශය විදියට අපි යෞවන සමාජ ව්‍යාපාරයත්, තරුණ සේවා සභාවත්, යොවුන් සේනාංකයත් හරහා ගුරුවරුවරුන්ට, දෙමාපියන්ට, ගම්වල අයට පාසල් ශුද්ධ පවිත්‍ර කරන්න අපේ පැත්තෙන් දායකත්වය ලබාදෙනවා.

යෞවන සමාජ ව්‍යාපාරයත් සමග එකතු වී ශ්‍රමදාන මගින් පාසල් ශුද්ධ පවිත්‍ර කරන්නැ‘යි මේ වන විටත් අපි තරුණ සේවා සභාවට උපදෙස් ලබා දී තිබෙනවා. රටක් විදියට අපි සියලුදෙනා ම එකතුවී පාසල් විවෘත වනතුරු බලාසිටිනවා.

අවුරුදු එක හමාරක්, දෙකක් දරුවෝ පාසල් ගියේ නැහැ. අවුරුදු දෙකක් පමණ දරුවෝ පාසල් ගියේ නැහැ කියන්නේ ඔවුන් අවුරුදු කීයක් තමන්ගේ ජීවිතේ ආපස්සට යනවාද කියන කාරණය මේ රටේ ජනතාවට අමුතුවෙන් මතක් කරන්න අවශ්‍ය නැහැ.

ආණ්ඩුවක් විදියට අපි පැහැදිලිව ම පාසල් විවෘත කළ යුතුයි යන ස්ථාවරයේ ඉන්නවා.‘‘

මාධ්‍යවේදියා : ඇතැම් වෘත්තීය සමිති පාසල් විවෘත කරන්න සහයෝගය දෙනවා කියලා. ඇතැම් අය පරණ ස්ථාවරේමයි ඉන්නේ. මොකක් වෙයිද?

“දේශපාලන මත සෑම වෘත්තීය සමිතියකම තිබෙනවා. සෑම වෘත්තීය සමිතියක්ම දේශපාලන පක්ෂයක් නියෝජනය කරනවා. ජනතා විමුක්ති පෙරමුණ කාලේ දේශපාලන අරගලය, ජනතා විමුක්ති පෙරමුණේ තරුණ අසහනය, මේ සියල්ලත් එක්ක එදා ඒ දේශපාලන පක්ෂ උත්සහා කළේ දරුවෝ පාසලෙන් ඈත් කර අවි අතට දෙන්න.

දරුවෝ පාසලෙන් ඈත් කර පාරට ගෙන්වා පාසල් ගිනි තියන්න. ගුරුවරුන්ට ගහන්න. එහෙම තමා එදා ඒ දේශපාන පක්ෂ කටයුතු කළේ. යුද්ධය අවසන් වී වසර ගණනාවකට පස්සේ අද අපි දකිනවා මේ රටේ තරුණයෝ නව තාක්ෂණය එක්ක, ඩිජිටල්කරණය සමග ඉදිරියට යන්න සූදානම් වන බව. නමුත් ඒ දේශපාලන පක්ෂ ඔවුන්ව ආයේ පරණ තැනටම ගෙනියන්න සූදානම් වෙනවා.

ඒ තැනට ගෙනියන්න පුලුවන් එකම ක්‍රමය වෙන්නෙ දරුවන්ව පාසලෙන් ඈත් කරන එක. පාසලෙන් දරුවෝ ඈත් කරන්න ගන්න උත්සාහයෙන් කොටසක් විදියට තමයි අපි මේක දකින්නේ.”

මාධ්‍යවේදියා : විපක්ෂය ප්‍රකාශයක් නිකුත් කරනවා පොහොර හම්බුණේ නැත්නම් 20 වෙනිදා කොළඹ වටලනවා කියලා.

“විපක්ෂයට චෝදනා කර කර ඉන්න පුලුවන්. ආණ්ඩුවක් විදියට ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ලබා දෙන්න කෘෂිකර්ම අමාත්‍යවරයා කටයුතු කර තිබෙනවා. මේ වන විට ගොවිතැනට අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණය පිටරටින් ගෙනවිත් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට යවා තිබෙනවා කියන කාරණය අමාත්‍යවරයා සදහන් කරනවා.

විපක්ෂය ආණ්ඩුවේ සිටිය දී අවුරුදු දෙකක් ලංකාවට පොහොර ගෙනාවේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා රුපියල් තුන්සිය පනහට දීපු පොහොර සහනාධාරය ඔවුන් නැවැත්තුවා. අපි අද සතුටු වෙනවා එහෙම කළ අයට දේශපාලන හේතුවක් නිසා හෝ ගොවි ජනතාව ගැන කැක්කුමක් තිබීම සම්බන්ධව.”

මාධ්‍යවේදියා : මේ වන විට එන්නත්කරණයේ ප්‍රගතිය සම්බන්ධව ඔබතුමාගේ අදහස කුමක්ද?

“ අතිගරු ජනාධිපතිතුමා මේ රට තුළ එන්නත්කරණ වැඩසහටන ඉතාමත් සාර්ථකව සිදු කරගෙන යනවා. අද ලෝකයේ ඉතාමත් වේගයෙන් එන්නත්කරණ ක්‍රියාවලිය සිදු කරන රටවල් අතරට අපි ඇවිත් තිබෙනවා.

අතිගරු ජනාධිපතිතුමා ලෝකයේ හැම රාජ්‍ය නායකයෙක් සමගම පෞද්ගලිකව සාකච්ඡා කර අවශ්‍ය එන්නත් මාත්‍රා ප්‍රමාණය ලබාගෙන තිබෙනවා. ක්‍රමවේදයකට අනුව ක්‍රමානුකූලව මේ වෙද්දි එන්නත්කරණය සිදුවෙමින් පවතිනවා.

පාසල් දරුවන්ට එන්නත් ලබාදීමේ හැකියාව සම්බන්ධව නිර්දේශ ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් එතුමා ඉල්ලීමක් කළා

සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දුන් නිර්දේශයන්ට යටත්ව පාසල් දරුවන්ට එන්නත් ලබාදෙන්න කටයුතු කරගෙන යනවා.”

මාධ්‍යවේදියා : ඇමතිතුමාගේ සහෝදරයා ක්‍රිකට් ක්‍රීඩාවට එනවා කියලා රාවයක් යනවා. මොකක්ද ඒ කතාව.

“මම දන්න විදියට නම් එයා ක්‍රිකට් ක්‍රීඩාවට එන්න බලාපොරොත්තුවක් නැහැ.‘‘

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *