දීඝවාපි පුදබිමේ ඉදිවන විශ්‍රාම ශාලාවට ආරක්‍ෂක ලේකම් මුල්ගල තබයි

(කොළඹ, ලංකාපුවත්) –දීඝවාපිය රජමහා විහාර පරිශ්‍රයේ ඉදිකිරීමට නියමිත විශ්‍රාම ශාලාව සඳහා මුල්ගල තැබීම නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමයන් කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති සහ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා විසින් ඊයේ(15) සිදුකරන ලදී.

බැතිමතුන් සඳහා විවේක ගැනීමට ඉදිකරනු ලබන මෙම විශ්‍රාම ශාලාව ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්‍ෂණික දායකත්වයෙන්, ගස් වලින් ග්‍රහණ චමත්කාර ජනක පරිසරයකින් යුතුව අංග සම්පූර්ණ ලෙස ඉදි කෙරෙන අතර එය ලබන වසරේ (2022) අගෝස්තු මාසය වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇත.

යෝජිත දාන ශාලාව, නෙළුම් පොකුණ, ධාතු මන්දිරය, පැළ සිටුවීම සහ භූමි අලංකරණ කටයුතු පිළිබඳව ද මෙම සංචාරයේදී ජෙනරල් ගුණරත්න විසින් සොයා බලන ලදී.

මෙහි ඉදි කිරීමේ කටයුතු කඩිනම් කිරීමත් සමඟ අද වන විට තුන්වන පේසා වළල්ලේ සිට අඩි 17 ක් දක්වා ඉහලට ස්තුපයේ ඉදි කිරීම් සම්පුර්ණ කර ඇත.

මෙහිදී මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වමින්, පැරණි පුරාණ රජවරුන් විසින් චෛත්‍යය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කළ උත්සාහයන් පිලිබඳ සිහිපත් කරමින් ජෙනරල් ගුණරත්න කියා සිටියේ, මාස 18 ක් තුළ මෙම ස්ථූපය පුරාණයේ තිබු පරිදි නැවත ඉදිකරන අතර ස්ථූප ප්‍රතිසංස්කරණය ඇතුළු සමස්ත සංවර්ධන කටයුතු වසර දෙකක් තුළ සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඉදිකිරීම් කටයුතු අවසන් වනවිට දීඝවාපී මහා සෑය උසින් අඩි 275 ක් පමණ වන අතර එවිට එය ලංකාවේ උසින් තුන්වන චෛත්‍ය වනු ඇති බවද ඔහු පැවසීය.
අනුරාධපුර සඳහිරු සෑ ව්‍යාපෘතියේ වැඩ කටයුතු අවසන් වෙමින් පවතින බව උපුටා දක්වමින් ආරක්‍ෂක ලේකම් කියා සිටියේ, සඳහිරු සෑය ඉදිකිරීම අවසන් වූ පසු ඒ සඳහා යොදවා සිටින භට පිරිස් සහ ගඩොල් නිෂ්පාදන ක්‍රියාවලිය දීඝවාපි ව්‍යාපෘතිය සඳහා යෙදවීමට බලාපොරොත්තු වන බවයි.
ස්ථූපය ඉදි කිරීම් අවසන් කිරීමත් සමඟම එහි සළපතල මළුව නිම කිරීමට සැලසුම් කර ඇති බවද ජෙනරල් ගුණරත්න පැවසීය.

මෙම උතුම් කාර්යය සඳහා රජයේ මුදල් භාවිතා නොකරන බව සඳහන් කළ ජෙනරල් ගුණරත්න දීඝවාපිය අරුණ බැංකු ගිණුම ගැනද සිහිපත් කරමින් තවදුරටත් පැවසුවේ සැදැහැවතුන්ගේ දායකත්වයන් තුළින් මෙහි වැඩ කටයුතු අඛණ්ඩව සිදු කරන බවයි.

දීඝවාපිය රජ මහා විහාරාධිපති පුජ්‍ය මහඔය සෝභිත හිමියන්ගේ අනුශාසනා පරිදි මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වෙමින් පවතී.

දීඝවාපිය ස්ථූප ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා චාරිත්‍රානුකූලව මුල්ගල තැබීම අගමැති සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් 2020 නොවැම්බර් 11 වෙනිදා සුභ මොහොතින් සිදු කරන ලදී.

මෙම අවස්ථාවට මහා සංඝ රත්නය ඇතුළුව බුද්ධසාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, අම්පාර දිසාපති ඩී.එම්.එල්. බණ්ඩාරනායක, පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් මහාචාර්ය අනුර මනතුංග, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් රන්ජන් ළමාහේවගේ (විශ්‍රාමික), ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර, ප්‍රාදේශිය ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරින්, ගෘහ නිර්මාණ ශිල්පීන්, පුරාවිද්‍යාඥයින් සහ ඉංජිනේරුවන් ද සහභාගී වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *