සංචාරක හෝටල්වලට දුන් විදුලි බිල්පත් සහනය තවත් කෙටි කාලයකට

(කොළඹ, ලංකාපුවත්) –කොවිඩ් හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංචාරක හෝටල් වලට විදුලි බිල්පත් සදහා ලබා දී තිබු සහනය තවත් කෙටි කාලයකට හෝ ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවෙයි.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ මේ සම්බන්ධයෙන් විදුලි බල අමාත්‍යවරයා සමග ද සාකච්ඡා කිරිමට අපේක්ෂා කරන බවයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදීංචි සංචාරක හෝටල් හා වාසස්ථාන සදහා විදුලි බිල්පත් ගෙවීම සදහා සහන කාලයක් ලබාදුන් අතර එය පසුගිය සැප්තැම්බර් මාසයෙන් අවසන් විය. බිද වැටී ඇති සංචාරක ව්‍යාපාරය යළි යථා තත්ත්වයට පත් විම සදහා තවත් මාස කීපයක් ගත විය හැකි බැවින් තවදුරටත් අදාළ සහනය ලබාදෙන ලෙස සංචාරක හෝටල් හිමියන්ගෙන් දිගින් දිගටම ඉල්ලිම් ලැබෙමින් පවති. මේ ඉල්ලිම් සැලකිල්ලට ලෙන මේ සහනය තවත් කෙටි කාලයකට ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමු ව ඇති බව ඇමතිවරයා කියයි.

කොවිඩ් හේතුවෙන් බිදවැටුණු සංචාරක ව්‍යාපාරය මේ වන විට ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත්වෙමින් තිබේ. පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා සංචාරකයන් 45,413 දෙනෙකු මෙරටට පැමීණ ඇත. ඔක්තෝම්බර් 01 සිට ඔක්තෝස්බර් 13 වෙනිදා දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 7096කි. පසුගිය ජනවාරි මාසයේ සිට ඔක්තෝම්බර් මාසයේ මේ දක්වා වැඩි වශයෙන් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාව, කසකස්ථානය, ජර්මනිය, යුක්රේනය, එක්සත් ජනපදය, චීනය, කැනඩාව, ඇමෙරිකාව, ප්‍රංශය සහ රුසියාව යන රටවලිනි. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ මේ වන විට සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට පැමිණීමේ ප්‍රවණතාවයක් ඇතිවෙමින් තිබෙන බවයි. ඉදිරි මාස දෙක තුළ සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීම සදහා මේ වන විට අවශ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන බව ද ඇමතිවරයා කියයි.

මේ අතර සංචාරක සංවර්ධන අධිකාරියේ මෙතෙක් ලියාපදිංචි නොවු සංචාරක හෝටල්, වාසස්ථාන හා සංචාරක සේවා සපයන්නන් එම අධිකාරියේ ලියාපදිංචි වීම සදහා මේ දිනවල විශේෂ උනන්දුවක් දක්වන බව ද දක්නට ලැබේ.

මේ වන විට සංචාරක හෝටල් 5786 ක් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වි ඇති අතර සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වීම සදහා සහනදායි වැඩපිළිවෙලක් ද අධිකාරිය ක්‍රියාත්මක කරනු ලබයි. මෙම ලියාපදිංචි කිරීම සිදු කෙරෙන්නේ මාර්ගගත ක්‍රම ඔස්සේ යි. ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම ලියාපදිංචි කිරිම් කඩිනම් කිරිම සදහා ද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව සංචාරක සංවර්ධන අධිකාරිය වැඩි දුරටත් කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *