ගලබොඩවත්ත මිරිස් වගාව ලෝක ආහාර සංවිධානයේ පැසසුමට

(කොළඹ, ලංකාපුවත්) –නාවලපිටිය ගලබොඩවත්තේ මේ වන විට ආරම්භ කර ඇති මිරිස් වගාව ලෝක ආහාර සංවිධානයේ පැසසුමට ලක්ව තිබේ.

ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් ආර්ථික ඵලදායිතාවක් නොමැති ඉඩම් අක්කර 100ක් අක්කර භාගය බැගින් දමිළ තරුණයින් අතර බෙදා දී මෙම මිරිස් වගාව ආරම්භ කර ඇත. මීට මාස තුනකට පමණ ඉහතදී ආරම්භ කර ඇති මෙම මිරිස් වගාවේ ඵලදාව මේ වන වින නෙලමින් පවතී.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සංකල්පයකට අනුව එක් ගමකට එක් බෝගයක් බැගින් වූ ව්‍යාපෘතිය යටතේ ආරම්භ කර ඇති මෙම මිරිස් වගාව දැකබලා ගැනිමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකා හා මාලදිවයිනේ නිත්‍ය නියෝජිත විමලේන්ද්‍ර සරාන් (Vimalendra Sharan) මහතා ඉකුත් 16 වනදා නාවලපිටිය ගලබොඩවත්තට ගියේය.

එහිදී දමිළ තරුණයින් මිරිස් වගාවේ යෙදෙන ආකාරය නිරීක්ෂණය කළ සරාන් මහතා මෙම වැඩපිළිවෙල රජයේ ආදර්ශමත් ක්‍රියාවක් බව සඳහන් කළේය. තේ වතුවල ආදායම අඩුවන කාලයට මෙවැනි විකල්ප ආදායම් මාර්ගවලට තරුණයින් යොමු කිරීම වැදගත් කාලෝචිත වැඩපිළිවෙලක් බවද ඔහු සදහන් කළේය.

“සාම්ප්‍රදායික ගොවිතැනින් බැහැර වී මෙවැනි කෘෂිකාර්මික වැඩසටහන් හඳුන්වා දී අගය එකතුකළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් ඉහළ ආදායමක් ලබා ගන්න පුළුවන්. විවිධ පර්යේෂණවල යෙදෙන අයටද මෙවැනි ව්‍යපෘති ඔවුන්ගේ පර්යේෂණ සඳහා යොදා ගැනිමද වැදගත්” යැයිද ඔහු සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක් වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙන්වා දුන්නේ මෙරට මිරිස් වගාව සරුවට කළ හැක්කේ වියලි කලාපයේ පමණක් බවට මතයක් පැතිර තිබුණ බවත්, එය එසේ නොවන බව තමන් මේ ව්‍යාපෘතිය මඟින් සනාථ කර ඇති බවත්ය. එමෙන්ම මිරිස් බීජ නිෂ්පාදනය සඳහා ද තමන් තවත් ප්‍රදේශයක් නාවලපිටිය ප්‍රදේශයෙන්ම තෝරා ගෙන ඇති බවත්, එයද මේ වන විට සාර්ථක බව පෙන්නුම් කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. සරාන් මහතා සමඟ මෙම සංචාරයට එම සංවිධානයේ අතිරේක නියෝජිත ආචාර්ය ඩී.බී.ටී.විජේරත්න මහතා ද සහභාගි වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *