කුසිනාරාව වෙත පළමු ජාත්‍යන්තර ගුවන් යානය හෙට පිටත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –කුසිනාරාව වෙත පළමු ජාත්‍යන්තර ගුවන් යානය හෙටට(20) යෙදෙන පින්බර වප් පුන් පොහෝ දින කොළඹින් පිටත් වන අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා මෙදින කුසිනාරා නුවර (කුෂිනගර්) ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කිරීමට නියමිත ය.

බුදුන් වහන්සේ පරිනිර්වාණයට පත් වූ කුසිනාරා නුවරට ‍ඉතා සුවිශේෂී ස්ථානයක් හිමි වේ. 2020 සැප්තැම්බර් 26 වන දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ අන්තර්ජාලය ඔස්සේ පැවති ද්විපාර්ශවික සමුළුවේ දී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා ප්‍රකාශ කරන ලද්දේ කුසිනාරා නුවර ගුවන් තොටුපොළට ළඟා වන පළමු ජාත්‍යන්තර ගුවන් යානය ශ්‍රී ලාංකික වන්දනාකරුවන් රැගත් ගුවන් යානයක් වනු ඇති බවයි.

පළමු ගුවන් යානයෙන් කුසිනාරාව බලා පිටත් වන ශ්‍රී ලංකා දූත පිරිසේ නායකත්වය හොබවන්නේ තරුණ සහ ක්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ සහ අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණික සහ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා විසිනි. රාජ්‍ය අමාත්‍යවරුන් සිව් දෙනෙකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ විවිධ නිකායන්ට අයත් දිවයින පුරා ප්‍රධාන විහාරස්ථාන නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ භික්ෂූන් වහන්සේලා 100කට ආසන්න පිරිසක් ද මෙම දූත පිරිසට අයත් වේ. ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම දූත පිරිසට අයත් ය.

කුසිනාරාව ඉන්දියාවේ බෞද්ධ සංචාරක ස්ථානයන් අතර ප්‍රධාන සිද්ධස්ථානයක් ලෙස සැ‍ලකෙන අතර නව ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීමට මාහැඟි දායකත්වයක් ලබා දෙනු ඇත. කුසිනාරාව බලා පිටත් වන පළමු ජාත්‍යන්තර ගුවන් යානය ජනතාව අතර පවතින ගැඹුරු සබඳතා පමණක් නොව අසල්වැසි රාජ්‍යයන් ද්විත්වය අතර පවතින සහශ්‍ර වර්ෂ ගණනාවක් පැරණි ශිෂ්ටාචාරමය බැඳීම ද පිළිඹිබු කරයි. මෙම ද්විපාර්ශවික සබඳතාවයේ සංස්කෘතික, ආධ්‍යාත්මික සහ භාෂාමය බැඳීම් හි කේන්ද්‍රය වන්නේ ද බුදු දහම යි.

ශ්‍රී ලංකා දුත පිරිස වරණාසි වෙත ද සංචාරය කරනු ඇත. 2021 ඔක්තෝබර් මස 20 වන දින කාශි විශ්වනාත් කෝවිලේ දී දුත පිරිස වෙනුවෙන් විශේෂ පූජාවක් පැවැත්වෙනු ඇත. 2021 ඔක්තෝබර් 21 වන දින පස්වරුවේ කොළඹ බලා පිටත් වීමට පෙර “ගංගා දර්ශනයක්” ද පවත්වනු ඇත.

මෙම සුවිශේෂී අවස්ථාව තවදුරටත් තීව්‍ර කරමින් වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති මහා විහාරයේ කපිලවස්තු සර්වඥ ධාතූන් වහන්සේලා ද වප් පුන් පොහෝ දින පිටත් වන පළමු ගුවන් යානයෙන් ඉන්දියාවට වැඩම කෙරෙනු ඇත. මෙම ධාතූන් වහන්සේලා එහි වර්තමාන භාරකරු වන රාජගුරු ශ්‍රී සුභූති මහා විහාරයේ විහාරාධිපති අති පූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ නා හිමිපාණන් වහන්සේ විසින් මහත් හරසරින් යුතුව ඉන්දියාවට වැඩම කරනු ලබයි.

මෙම පූජනීය සර්වඥ ධාතූන් වහන්සේලා කුසිනාරා නුවර නව ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී නිසි ගෞරවාදර පෙරදැරිව පිළිගෙන ඒ සඳහා ඉන්දීය රජයේ පූර්ණ රාජ්‍ය ගෞරව ලබා දෙනු ඇත. කුෂිනගර් සහ සාරානාත් ඇතුළු ඉන්දීය නගර රැසක දී මෙම ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කරනු ඇත.

19 වන සියවසේ අග භාගයේ දී ඉන්දියාවේ සිදු කරන ලද පුරාවිද්‍යා කැණීමක දී සොයා ගන්නා ලද පිප්‍රාහ්ව ධාතූන් වහන්සේලා ශ්‍රී ලංකාවේ වැඩ සිටින එවන් ලේඛනගත වාර්තාවක් සහිත එකම සර්වඥ ධාතූන් වහන්සේලා වේ. මෙම ධාතූන් වහන්සේලා කපිලවස්තු ධාතූන් වහන්සේලාගේ කොටසකි. එම ධාතූන් වහන්සේලා අති පූජ්‍ය වස්කඩුවේ රාජගුරු ශ්‍රී සුභුති නාහිමිපාණන් වහන්සේ විසින් ශ්‍රී ලංකාවට වැඩම කළ අතර මේ වන විට කළුතර වස්කඩුව විහාරයේ තැන්පත් කර ඇත. 2020 වෙසක් උත්සවය අන්තර්ජාලය ඔස්සේ අමතමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා මෙම විහාරය පිළිබඳව විශේෂයෙන් සඳහන් ක‍ළේය.

2015 ඔක්තෝබර් මාසයේ දී ද මෙම ධාතූන් වහන්සේලා ඉන්දියාවට වැඩම කරවන ලදී. සය වරක් පමණක් ඉන්දියාවෙන් පිටතට වැඩමවා තිබෙන අති පූජනීය කපිලවස්තු ධාතූන් වහන්සේලා 1978 සහ 2012 යන වර්ෂයන්හිදි ශ්‍රී ලංකාවට වැඩම කරවන ලදී.

කුසිනාරාව වෙත ළඟා වන පළමු ගුවන් යානය සහ පැවැත්වීමට නියමිත ධාතු ප්‍රදර්ශන ඉන්දියාවේ සහ ශ්‍රී ලංකා‍වේ ජනතාව විසින් බෙදා හදා ගන්නා සමානතා සඳහා මාහැඟි සාක්ෂ්‍යක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *