ශ්‍රී ලංකාව අපරාජිතව සුපිරි 12ට

(කොළඹ | ලංකාපුවත්) –ශ්‍රේණිගත කිරීම්වල මුල් කණ්ඩායම් 8 අතරට ඒමට නොහැකි වීමෙන් මූලික වටයෙන් සුපිරි 12 වටයට එක් වීමට සිදූ වූ ශ්‍රී ලංකා කණ්ඩායම අපරාජිතවම එම අවස්ථාව උදා කර ගැනීමට ඊයේ (22) සමත් විය.

සාජාහිදී පැවැති මූලික වටයේ අවසන් තරගයෙන් ශ්‍රී ලංකා පිල හමුවේ නෙදර්ලන්තයට කඩුලු 8ක දැවැන්ත පරාජයක් අත් විය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට දස්කම් හේතුවෙන් තරගයේ පළමුව පන්දුවට පහර දුන් නෙදර්ලන්ත පිල ඕවර 10කදී ලකුණු 44කට දැවී ගිය අතර, එම ඉලක්කය ඕවර 7.1කදී සපුරාගත් ශ්‍රී ලංකා පිලට අහිමි වූයේ කඩුලු 2ක් පමණි.

කුසල් ජනිත් පෙරේරා පන්දු 24කදී හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 33ක් රැස් කළ අතර, අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 2ක් රැස් කර තිබිණි. කුසල් සමඟින් ඉනිම ඇරැඹූ පැතුම් නිශ්ශංක ලකුණු නොලබා දැවී ගිය අතර, පළමු වරට මේ තරගාවලියට කැඳවූ චරිත් අසලංකට රැස් කළ හැකි වූයේ ලකුණු 6ක් පමණි.

නෙදර්ලන්තයේ මේ ඉනිම වාර්තා අතරට එක් වූයේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක කණ්ඩායමක් රැස් කළ දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසිනි. මින් පෙර 2014 වසරේ බංග්ලාදේශයේදී ශ්‍රී ලංකා පිල හමුවේම ලකුණු 39කට දැවී යමින් අඩුම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කියන්නේ ද නෙදර්ලන්තය වීම විශේෂත්වයකි. ලෝක කුසලාන තරගාවලියක කණ්ඩායමක් අඩුම ලකුණු සංඛ්‍යාවකට දවාගත් මුල් අවස්ථා 3ටම ශ්‍රී ලංකා පිල හිමිකම් කීම ද කැපී පෙනෙන සිදු වීමකි. තෙවැනි අවස්ථාව නවසීලන්තය ලකුණු 60කට ශ්‍රී ලංකාව හමුවේ දැවී යෑමයි. මේ තරගය සාජා පිටියේ විස්සයි20 තරගයකදී වාර්තා අඩුම ලකුණු සංඛ්‍යාව ද මෙයයි.

ශ්‍රී ලංකා පන්දු බළඇණිය හමුවේ පළමුව පන්දුවට පහර දුන් නෙදර්ලන්ත පිලේ කිසිදු පිතිකරුවකුට පිටියේ ස්ථාවර වීමට අවස්ථාවක් නොලැබිණි. කොලින් අකර්මන් පමණක් ලකුණු 10 සීමාව පසු කිරීමට සමත් විය. ඔහු පන්දු 9කින් ලකුණු 11ක් රැස් කළේය.

නෙදර්ලන්ත ඉනිම බිඳ දැමූ ළහිරු කුමාර ලකුණු 7කට කඩුලු 3ක් සහ වනිඳු හසරංග ලකුණු 9කට කඩුලු 3ක් දවාගත් අතර, මහීෂ් තීක්ෂණ කඩුලු 2ක් බිඳ දැම්මේ ලකුණු 3කටය.නෙදර්ලන්තය – 44 (ඕවර 10) ළහිරු කුමාර 7/9, වනිඳු හසරංග 9/3, මහීෂ් තීක්ෂණ 3/2)

ශ්‍රී ලංකාව – 45/2 (ඕවර 7.1) කුසල් පෙරේරා නොදැවී 33

Leave a Reply

Your email address will not be published. Required fields are marked *