රුසියානු හමුදාවේ ඉහළම ගෞරවාචාරය ශ්‍රී ලංකා යුද හමුදාපතිට

(ලංකාපුවත් | කොළඹ) – රුසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත රුසියානු හමුදාවේ ඉහළම ගෞරවාචාරය පිරිනැමේ.

රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශයේ රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් (General Oleg Salyukov) 2020 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ සිදුකල සංචාරය අතරතුර රුසියාවේ නිල සංචාරයක් සඳහා පැමිණෙන ලෙස කළ ආරාධනයකට අනුව, රුසියාවේ නිල සංචාරයක නිරත ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත යුද හමුදාපතිවරයෙකු වෙත කලාතුරකින් ලැබිය හැකි රුසියානු හමුදාවේ ඉහළම ගෞරවාචාරය ඉකුත් සඳුදා(25) රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශයේ රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී විසින් සිදු කළේය.

මෙහිදී ශ්‍රී ලංකා යුද හමුදාපති වෙත රුසියානු ජනරජ භූමි හමුදාවේ සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය පිරිනැමීය.

ඉන් අනතුරුව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා මොස්කව් ක්‍රෙම්ලිනයේ ඇලෙක්සැන්ඩ්‍රොව්ස්කි උද්‍යානයේ (Alexandrovsky Garden of Moscow Kremlin) පිහිටි ‘Tomb of the Unknown Soldier’ රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපාර පුද කර දිවිපිදු රුසියානු හමුදාවේ විරෝදාර රණවිරුවන් සිහිපත් කරන ලදි.

මෙම සංචාරයේදී  ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් සිදුකරන පුහුණු වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම, ඒකාබද්ධ යුද අභ්‍යාස පැවැත්වීම සහ දෙරට අතර පවත්නා යාන්ත්‍රික හා ඉංජිනේරු දැනුම හුවමාරු කරගැනීම ඇතුළු ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten − 6 =