ඉන්දීය දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී දිවයිනට

(ලංකාපුවත් | කොළඹ) –ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දීය නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී, වයිස් අද්මිරාල් අනිල් කුමාර් චවුලා ඊයේ (25) නාවික හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා නාවික හමුදාපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමු විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ ඒකාබද්ධ නාවික අභ්‍යාසයක නිරතවීම සඳහා ඉන්දියානු නාවික හමුදාවේ පළමු වන පුහුණු බලඝණයට අයත් පුහුණු නෞකා 06ක් පසුගිය 24 වන දින දිවයිනට සේන්දු වූ අතර, ඊට සමඟාමීව ඉන්දීය නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී, වයිස් අද්මිරාල් අනිල් කුමාර් චවුලා සිව් දින නිළ සංචාරයක් සඳහා 24 වන දින දිවයිනට පැමිණියේය.

ඒ අනුව, ඊයේ නාවික හමුදා මූලස්ථානයට පිවිසි වයිස් අද්මිරාල් අනිල් කුමාර් චවුලා වෙත විශේෂ සම්මාන මුරයක් මඟින් උත්තමාචාරය පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදාපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා විසින් නාවික හමුදා මූලස්ථානය වෙත ඔහු ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

මෙම නිල හමුවේදී, ඉන්දීය නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී සහ ශ්‍රී ලංකා නාවික හමුදාධිපති අතර ද්විපාර්ශ්වීය වශයෙන් දෙරටේ නාවික හමුදාවන්ට අදාල වැදගත් කරුණු සහ දෙරටේ දිගුකාලීන මිත්‍රශීලී සබඳතාවය පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්වීමෙන් අනතුරුව, මෙම හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර, සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

එමෙන්ම, වයිස් අද්මිරාල් අනිල් කුමාර් චවුලා, ශ්‍රී ලංකා නාවික හමුදාපති ඇතුළු නාවික හමුදා කළමණාකරණ මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් අනතුරුව නාවික හමුදාධිපති කාර්යාලයේ ඇති විශේෂ අමුත්තන් සඳහා වු සමරු පොතෙහි සටහනක් තැබිමට ද කටයුතු කළේය.

තවද, මෙම නිල සංචාරයේදී ඔහු විදේශ අමාත්‍යාංශයේ ලේකම්, ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති, නැගෙනහිර සහ දකුණු නාවික විධානයන්හි ආඥාපතිවරුන් හමුවීමට මෙන්ම, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ සහ ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ වැඩසටහන් සඳහා සහභාගී වීමට ද නියමිතව ඇති අතර, මෙම නිල සංචාරය නිමා කරමින් 2021 ඔක්තෝබර් මස 28 වන දින ඔහු දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *