මහේස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිලි කිහිපයක් ජනතා අයිතියට

(ලංකාපුවත් | කොළඹ) – සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය පෙරදැරිව අභිනවයෙන් ඉදිකරන ලද මැදවච්චිය දිසා/මහේස්ත්‍රාත් අධිකරණය සහ කහටගස්දිගිලිය දිසා/මහේස්ත්‍රාත් අධිකරණය ජනතා අයිතියට පත්කිරීම අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) සිදු කෙරිණි.

රුපියල් මිලියන 157ක් වැයකරමින් සියලු අංගයන්ගේන් සමන්විත මැදවච්චිය දිසා/මහේස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ල නිමකර ඇති අතර කහටගස්දිගිලිය අධිකරණ ගොඩනැගිල්ල රුපියල් මිලියන 102ක වියදමින් වැඩ නිමකර ඇත.

මෙම අධිකරණයන් දෙක මේ වන තෙක් ක්‍රියාත්මකවූයේ සංචාරක මහේස්ත්‍රාත් අධිකරණ ලෙසින් වන අතර අද දින පටන් ස්ථිර අධිකරණයන් ලෙසින් ක්‍රියාත්මක වීමට නියමිතය.

අනුරාධපුර අධිකරණ කළාපය තුළ ජනගහනය ලක්ෂ 10ක් පමණ වන අතර සිවිල් නඩු සංඛ්‍යාව 9084ක් සහ අපරාධ නඩු 44733ක් පමණ වේ.

මෙයින් මෙතෙක් පැවති මැදවච්චිය සංචාරක අධිකරණයෙහි නඩු 3588ක් පවතින අතර කහටගස්දිගිලිය සංචාරක අධිකරණයෙහි නඩු 4001 තරම් විශාල නඩු සංඛ්‍යාවක් පවතී. මෙම සංචාරක අධීකරණයන් ස්ථිර අධිකරණයන් බවට පත් කිරීම තුළින් ගොඩගසී ඇති නඩු කඩිනම් කිරීමේ හැකියාවත් පවතී.

නඩු ගොඩගැසීම අවම කිරීම සහ නඩු කටයුතු කඩිනම් කිරීම අරමුණු කර ගනිමින් වත්මන් රජය විසින් ගෙනයන වැඩපිළිවෙලෙහි තවත් එක් අධියරක් ලෙස අධිකරණ සංකීර්ණයන් ඉදිකිරීම හා ඒවායෙහි ඇති අඩුපාඩු හදුනාගෙන ඊට අදාල විසඳුම් ලබාදීම සිදුකරනු ලබන අතර දිවයින පුරා අධිකරණයන්හි ගොඩගැසී ඇති නඩු කටයුතු ප්‍රමාදයකින් තොරව අවසන් කිරීම රජයේ අරමුණයි.

මෙම අවස්ථාවට ගරු ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රනනසේන, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ , පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච්.නන්දසේන, පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න යන මැති ඇමතිවරුන්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නෙ මහතා, අධිකරණ අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් නීතිඥ ජනක රණතුංග මහතා සහ අධීකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගී වන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *