ආඝාත රෝගයේ භයානක තත්ත්වය ගැන හෙළිදරව්වක්

(ලංකාපුවත් | කොළඹ) –ආඝාත රෝගය හේතුවෙන් වසරකට පුද්ගලයින් 20,000ක් පමණ දුබලතාවයට පත් වන බව ජාතික ආඝාත සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ස්නායූ රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හර්ෂ ගුණසේකර මහතා සඳහන් කළේ, ආඝාත රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් කඩිනමින් රෝහල්ගත කිරීමෙන් ඔවුන් දුබලතාවයට පත්වීමෙන් වළක්වා ගැනීමේ හැකියාව පවතින බවය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය හර්ෂ ගුණසේකර මහතා එම අදහස් පළ කළේය.

“ශ්‍රී ලංකාවේ සාමාන්‍යයෙන් වර්ෂයකට ආඝාතය රෝගීන් 60,000ක් විතර රෝහල් ගත වෙනවා. එයින් රෝගීන් 4,000ක් පමණ මියයනවා රෝහල තුළ. ඊට අමතරව සම්පූර්ණ වශයෙන් මියයන ප්‍රමාණය මීට වඩා අධික වියහැකියි. ඊට අමතරව දුබලතාවයට පත්වෙන පිරිස සමහර විට 20,000ක් පමණ වියහැකියි. මේක අවම කරගැනීම සඳහා අපි විශේෂයෙන් ජනතාවට ගෙන යන පණිවුඩයක තමා, ආඝාතය රෝග ලක්ෂණ ඉක්මනින් හඳුනාගන්න. එම රෝග ලක්ෂණ ටික අපි පැහැදිලි කරලා දෙන්නම්. මුහුණේ ඇතිවන දුබලතාවයක්. කට එක පසකට යෑම හෝ මුහුණ එක් පැත්තකට ඇදවීමක්. ඒ වගේම අත ඔසවන විට ඇතිවන දුර්වලතාවය. වචන උච්චාරණයේ දී හෝ භාවිතයේ දී ඇතිවන දුර්වලතා හෝ වචන කතා කිරීමේ ප්‍රමාදතාවයක් තිබීම. මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් එකක් හෝ වහාම ක්‍රියාත්මක වී රෝගියා ළඟම තියෙන ප්‍රධාන රෝහලට ගෙන යා යුතුයි. විශේෂයෙන් ම CTC ස්කෑන් යන්ත්‍රයක් තිබෙන රෝහලකට තමයි රෝගියා ගෙන යා යුත්තේ.”

මේ අතර ආඝාත රෝගයට ප්‍රධානතම හේතුව පුද්ගලයින්ගේ වැරදි ආහාර පරිභෝජනය බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අංශයේ විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන මහත්මිය සඳහන් කළාය.

“ජීවන රටාව, අපි ලුණු, තෙල් හා සීනි අධිකව ආහාරයට ගැනීමෙන්. ව්‍යායාම අඩුවෙලා තියෙනවා. එක්කෝ මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය. දුම්පානය ඒ එක්කම වායු දුෂණය මෙයට බලපාන අවධානම් සාධක විදියට දකිනවා. අපේ ලුණු භාවිතය අධිකව සිද්ධවෙනවා. මේ නිසා අධික රුධිර පීඩනය ඇතිවෙන්න පුළුවන්. ඒ එක්කම හෘදයා බාධ, ආඝාතය නැතිනම් අංශභාගය කියන තත්ත්වය අපි ස්ටෝක් කියන තත්ත්වය හා වකුගඩු රෝගය වැනි හැමඑකකටම මුලිකව හේතුවෙනවා. ලංකාවේ සිදුවන මරණවලින් සියයට 83ක්ම සිදුවන්නේ බෝ නොවන රෝගවලින්. එයින් සියයට 34ක් ම හෘදය හා රුධිරවාහිනි සම්බන්ධ රෝග විදියට වාර්තා වෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *