රටේ අනාගත පරපුර නගාසිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි

(ලංකාපුවත් | කොළඹ) – වත්මන් රජය මේ රටේ අනාගත පරපුර නගාසිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බව කාන්තා හා ළමා සංවර්ධන,පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.

අති දුෂ්කර පාසලක් වන මහියංගන සොරබර වටවන කණිෂ්ඨ විද්‍යාලයේ ඉදිකල නව ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරිම හා ගුරු නිවාසය ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් පසුගියදා (03) පැවැති උත්සවය අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම පාසලේ 10, 11 ශ්‍රේණි සඳහා රුපියල් ලක්ෂ 30ක වියදමින් නව පන්ති කාමර තුනක් ඉදිකර දී ඇති අතර රුපියල් ලක්ෂ 70ක වියදමින් නව ගුරු නිවාසයක් ඉදිකිරීමට මුල්ගල් තැබීම ද මෙහිදී සිදු විය. ඒ සඳහා “ඔබ වෙනුවෙන් අප සංවිධානය” මුල්‍යමය දායකත්වය ලබා දී තිබිණි.

එසේම පාසැල් භූමියේ සොරබොර වැව නිර්මාතෘ බුලතා යෝදයාගේ පිළිරුවක් නිරාවරණය කිරීම හා පාසැල් භූමියේ සීනුවක් විවෘත කිරීමද මෙහිදි සිදුවු අතර “ඔබ වෙනුවෙන් අප” සංවිධානය විසින් පාසැලට අවශ්‍ය ද්‍රව්‍යමය ආධාර සහ ළමුන් සඳහා අභ්‍යාස පොත් ප්‍රදානයක්ද රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

උත්සවය අමතා වැඩිදුරටත් අදහස් දැක්වූ පියල් නිශාන්ත මහතා මෙසේද සඳහන් කළේය.

මේ පාසලේ අඩුපාඩු රැසක් තිබෙනවා. අද “ඔබ වෙනුවෙන් අප” සංවිධානයේ සභාපති රත්නසිරි මහතා මෙම පාසල තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් රජය දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබෙනවා. රජය නියෝජනය කරන මහජන නියෝජිතයෙක් වශයෙන් ගොඩක් සතුටු දවසක්. වර්තමාන රජය මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් පෙනී සිටින රජයක්. අපි කවූරුත් දරුවන්ට ආදරෙයි. ඒ දරු පරපුර වෙනුවෙන් රජය කරන්න පුළුවන් හැකි සෑම දෙයක්ම කරනවා. ඒ වගේම මේ පාසලේ ජල පහසුකම් මෙන්ම ගමේ ජනතාව වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් ද ලබා දීමට කඩිනමින් පියවර ගන්නවා. වත්මන් රජය යටතේ අපේ අමාත්‍යංශය මේ රටේ දරුවන් වෙනුවෙන් විශාල වැඩ කොටසක් දැනටමත් ආරම්භ කර තිබෙනවා යැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *