නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා විවාහ ගිවිස ගනී

(ලංකාපුවත් | කොළඹ) – නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා යූසුෆ්සායි විවාහ ගිවිස ගෙන ඇත.

බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් හි පැවති ඉස්ලාමීය ඉස්ලාමීය ‘නිකා’ චාරිත්‍රවලට අනුව ඇය සිය සහකරු සමඟ විවාහ ගිවිස ගෙන ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

24 හැවිරිදි මලාලා යූසොෆ්සායි, තමන් තම ජීවන සහකරු ලෙස පාකිස්තාන ජාතික අසර් මලික් තෝරා ගත් බව සදහන් කරමින්, විවාහ ගිවිස ගැනීමේ උත්සවයේ ඡායාරූප සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර තිබේ.

මලාලා ජාත්‍යන්තරයේ අවධානය දිනා ගත්තේ 2012 වසරේදීය. බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් පාකිස්තාන් තලේබාන් ත්‍රස්තවාදීන්ට එරෙහිව හඬ නැගීමේ වරදට, තලේබාන් තුවක්කුකරුවකු ඇය ගමන් කරමින් සිටි පාසල් බස් රියට ගොඩ වී ඇය අසලට පැමිණ ඇගේ හිසට වෙඩි තැබීමේ සිදුවීමෙන් පසුවය. ඒ වනවිට ඇගේ වයස අවුරුදු 15 කි.

බරපතළ ලෙස තුවාල ලැබූ මලාලා වැඩිදුර ප්‍රතිකාර සඳහා ලන්ඩනයට ගෙන ඒම සිදුවූයේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්ගේ උපදෙස් අනුවය.

මලාලා පාකිස්තානයේ බාලිකා අධ්‍යාපනයට ඇති අයිතිය වෙනුවෙන් හඬ නැගුවේ ගුරුවරයකු ලෙස කටයුතු කරමින් සිටි ඇගේ පියා සමඟ එක් වී බීබීසී උර්දු ගුවන් විදුලි සේවය ඔස්සේය. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේත් රජයේත් අවධානය මලාලාට හිමිවූයේ එබැවිනි. මලාලා සමඟ ඇගේ පවුලේ සාමාජිකයන් ද ලන්ඩන් නුවරට පැමිණි අතර ඔවුන්ට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමිවිය.

ප්‍රතිකාර ලබා සුවය ලැබීමෙන් පසු මලාලා එක්සත් ජාතීන්ගේ මානව ක්‍රියාකාරිනියක සහ තානාපතිවරියක ලෙස බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් සහ කාන්තා අයිතීන් වෙනුවෙන් වැඩසටහන් රැසකට සම්බන්ධ වූ අතර, ඇය ලෝක ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වූවාය. මලාලා නොබෙල් සාම ත්‍යාලයෙන් පිදුම් ලැබුවේ 2014 වසරේදීය. ඒ වනවිට ඇගේ වයස අවුරුදු 17 කි. නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ ළාබාලතම තැනැත්තා ලෙස සැලකෙන්නේ ද මලාලා යූසොෆ්සායි ය.

මලාලා ඔක්ස්ෆර්ඩ් උපාධිධාරිනියකි. වර්තමානයේ ඇය ඇගේ මව පියා සහ සොහොයුරා සමඟ ජීවත් වන්නේ බ්‍රිතාන්‍යයේය.

මලාලාගේ අත ගත්තේ අසර් මලික්ය. අසර් මලික් පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ලෙස රාජකාරි කරයි. පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයට සම්බන්ධ වීමට පෙර, ක්‍රිකට් සමාජ කීපයක ක්‍රියාකාරී සාමාජිකයකු ලෙසත් සභාපතිවරයා ලෙසත් අසර් මලික් කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *