ලබන වසර සඳහා වන අයවැය හෙට පාර්ලිමේන්තුවට

(ලංකාපුවත් | කොළඹ) –ලබන වසර සඳහා වන අයවැය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. මෙරට 22 වැනි මුදල් අමාත්‍යවරයා වන බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන පළමු අයවැය මෙයයි. අයවැය කථාව හෙට පස්වරු 1.30 සිට ජාතික රූපවාහිනිය ඔස්සේ සජීව ලෙස විකාශය කෙරේ.

හෙට ඉදිරිපත් කෙරෙන්නේ, නිදහස් ශ්‍රී ලංකාවේ 76 වැනි අයවැයයි. මෙරට පළමු අයවැය ඉදිරිපත් කෙරුණේ, 1947 වසරේදී. ඒ මෙරට පළමු මුදල් අමාත්‍ය ජේ.ආර් ජයවර්ධන මහතා විසින්.

මෙරට අයවැය ඉතිහාසයේ වැඩිම අයවැය සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබෙන්නේ මුදල් අමාත්‍යවරුන් ලෙස රොනී ද මෙල් සහ මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්. ඒ අයවැය 11 බැගින්. හෙට ඉදිරිපත් කෙරෙන්නේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජයේ එනම් 9 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි අයවැයයි. අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 13 වැනිදා සිට 22 වැනිදා දක්වා අයවැය දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්වෙයි.

අයවැය දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීම 22වැනි දින සවස පැවැත්වීමට නියමිතයි. අයවැය තුන්වැනි වර කියැවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදය ආරම්භ වන්නේ, ලබන 23 වැනිදායි.

ඒ පිළිබඳ විවාදය දෙසැම්බර් 10 වැනිදා දක්වා පැවත්වෙන අතර අයවැය පිළිබඳ අවසන් ඡන්ද විමසීම එදින පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. මෙවර අයවැය විවාදය පැවැත්වෙන කාලසීමාව තුළ මහජන ගැලරිය විවෘත නොවන අතර රාජ්‍ය නිලධාරීන් සීමිත පිරිසකට පමණක් සහභාගී වීමට අවස්ථාව සළසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *