ජනවාරි සිට මේ දක්වා පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 80,310ක්

(ලංකාපුවත් | කොළඹ) – මේ මාසයේ මුල් දෙසතිය තුල සංචාරකයන් 19,222කු දිවයිනට පැමිණ ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. නොවැම්බර් 01 වෙනිදා සිට 14 වෙනිදා දක්වා කාලය තුල මෙම සංචාරකයන් පැමිණ තිබේ. රට සංචාරකයන්ට විවෘත කිරීමෙන් පසු මේ දක්වා දිවයිනට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 80,310ක් බව ද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කලේ කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංචාරක අධ්‍යන අංශය විසින් කොළඹ වන් ගෝල් ෆේස් (one galle face mall) වෙළඳ සංකීර්ණයේදී සංවිධානය කර ඇති Sri Lanka Tourism Expo 2021 සංචාරක ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි. කොවිඩ් වසංගතයෙන් පසුව මෙරට පැවැත්වෙන පලමු සංචාරක ප්‍රදර්ශනය වන්නේ ද මෙම Sri Lanka Tourism Expo 2021 ප්‍රදර්ශනයයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මෙම ප්‍රදර්ශනයේ කුටි සංඛ්‍යාව 50කට සීමා කර තිබුන ද මෙරට ප්‍රධානපෙලේ සංචාරක හෝටල් සේවා ආයතන මේ සඳහා සිය ප්‍රදර්ශන කුටි ඉදිරිපත් කර තිබිනි.

ප්‍රදර්ශනය නිල වශයෙන් විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්න වලට පිලිතුරු දෙමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ මෙරට සංචාරක ව්‍යාපාරය ගොඩනැඟිය හැක්කේ සෞඛ්‍ය ආරක්ෂිතව රටට සංචාරකයන් ගෙන්වීමෙන් පමණක් බවයි. එය කොවිඩ් හේතුවෙන් බිඳ වැටී ඇති සංචාරක කර්මාන්තයට ලබාදිය හැකි හොඳම සහනය බවද ඔහු පෙන්වා දුන්නේය. සංචාරක ක්ෂේත්‍රය සඳහා ණය සහන පැකේජ හෝ ලීසිං පහසුකම් දීර්ඝ කිරීම තුලින් පමණක් කඩාවැටී ඇති සංචාරක ව්‍යාපාරය ගොඩනැගිය නොහැකිය. එවැනි පැලැස්තර විසඳුම් වලින් පමණක් සංචාරක ව්‍යාපාරය ගොඩගත නොහැකි බව අවධාරණය කල ඇමති ප්‍රසන්න රණතුංග මහතා කොවිඩ් එන්නත්කරණයට සමගාමීව රට සංචාරකයන්ට විවෘත කිරීමට කටයුතු කලේ ආණ්ඩුව මේ තත්වය පැහැදිලිව වටහාගත් නිසා බව ද කීවේය.

කොවිඩ් වසංගත තත්වයත් සමග සංචාරක ක්ෂේත්‍රයේ නියුතු බොහෝ අය මෙම ක්ෂේත්‍රය අතහැර ගොස් ඇතැයි පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඔවුන් යලි මෙම ක්ෂේත්‍රයට එක් කිරීමත් නැවත මෙවැනි අවධානම් සහගත තත්වයන්හිදී සංචාරක ක්ෂේත්‍රය බිඳ වැටුනද ඔනුගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීම පිලිබඳවත් රජය අවධානය යොමුව ඇතැයි ද කීවේය. සංචාරකයන්ට රට යළි විවෘත කිරීමත් සමග මෙවැනි සංචාරක ප්‍රදර්ශන, සමුළු, සම්මන්ත්‍රණ ආදී පැවැත්වීම යලි සංචාරක ව්‍යාපාරය ගොඩනැගීමට හේතුවනු ඇතැයි දඇමතිවරයා විශ්වාසය පල කලේය.

රට සංචාරකයන්ට විවෘත කල දින සිට පසුගිය ජනවාරි මාසයේ සිට නොවැම්බර් 14 වෙනි දින දක්වා මෙරටට සංචාරකයන් 80,310ක් පැමිණ තිබේ. මේ මාසයේ ගෙවී ගිය දෙසතිය තුල පමණක් සංචාරකයන් පැමිණ ඇති සංඛ්‍යාව 19,222කි. මේ පිරස පැමිණ ඇත්තේ ඉන්දියාව, එක්සත් රාජධානිය, රුසියාව, පාකිස්ථානය, ජර්මනිය, මාලදිවයින, ප්‍රංශය, කැනඩාව, ඇමරිකාව සහ ස්විස්ටර්ලන්තය වැනි රටවල් වලින් බවද ඇමතිවරයා මෙහිදී කියා සිටියේය. පසුගිය සැප්තැම්බර් මාසයේදී පමණක් මෙරටට පැමිණ ඇති සංඛ්‍යාව 13,547කි.ඔක්තෝම්බර් මාසයේ දී සංචාරකයන් 22,771ක් මෙරටට පැමිණ ඇතැයි ද ඇමතිවරයා කීවේය.ඔහු අවධාරණය කලේ මෙරටට සංචාරක කර්මාන්තය ක්‍රම ක්‍රමයෙන් යථා තත්වයට පත්වෙන බව එමගින් තහවුරු වන්නේ යැයි ද ඔහු සඳහන් කලේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *