අප-ජල කළමනාකරණ පද්ධති රටේ සෑම ප්‍රධාන නගරයකටම

(ලංකාපුවත් | කොළඹ) –සීමිත ප්‍රදේශයකට සීමා වී තිබෙන අපජල කළමනාකරණ පද්ධති ඉදිරියේ දී රටේ සෑම ප්‍රධාන නගරයකම ඉදිකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මහනුවර නාගරික “අප-ජල කළමනාකරණ ව්‍යාපෘතිය“ අරලියගහ මන්දිරයේ සිට මාර්ගගත ක්‍රමවේදය යටතේ අද (17) විවෘත කර ජනතා අයිතියට පත්කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රටේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් “සනීපාරක්ෂාව පිළිබද ජාතික සැළැස්මක්“ නිර්මාණය කිරීමට හැකිවීම අප ලැබූ ජයග්‍රහණයක් බවද අග්‍රාමාත්‍යතුමා මෙහිදී පැවසීය.

භූගත ජලය සංරක්ෂණ කරගනිමින් ජලපෝෂක ප්‍රදේශ ආරක්ෂා කරගෙන සංවේදී කලාප හරහා ලැබෙන ජල ධාරාවේ ගුණාත්මක බව ඉහළ මට්ටමක තබා ගැනීමට 2030 දක්වා ක්‍රියාත්මක “සනීපාරක්ෂාව පිළිබඳ ජාතික සැළැස්ම” ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා විසින් මෙහි දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වන ලදි.

මහනුවර ගන්නෝරුව අප-ජල පවිත්‍රාගාර භූමියේ පැවැති මෙම උත්සව අවස්ථාවේ දී ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය විසින් මහනුවර නාගරික අපජල කළමනාකරණ ව්‍යාපෘතියේ වාහන, යන්ත්‍රෝපකරණ සහ උපාංග ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට සහ මහනුවර මහ නගර සභාවට භාරදුන්නේය.

මහනුවර නගරාධිපති කේසර සේනානායක සහ ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි තිලිණ එස්. විජේතුංග මහත්වරු අප-ජල පවිත්‍රාගාරයේ මෙහෙයුම් හා නඩත්තු ගිවිසුමට මෙහිදී අත්සන් තැබීය.

මහනුවර නාගරික අප-ජල කළමනාකරණ ව්‍යාපෘතිය පිළිබඳ වාර්තාමය වැඩසටහනක් ද සමාරම්භක උත්සවයට සමගාමීව විකාශය කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *