යළි කිසි දිනක ලේ ගංඟා, මරණ බිය ඇති වන සිදුවීම් අපේ රට තුළ ඇති නොවේවා!

(ලංකාපුවත් | කොළඹ) – ලේ ගංඟා නතර කරලා, මරණ බිය තුරන් කරලා, අපේ රට අභය භූමියක් කළ රණවිරුවන් වෙනුවෙන් මේ සඳහිරු සෑය හදලා ප්‍රාර්ථනා කරන්නේ අනාගතයේ කිසිදාක එවැනි සිදුවීම් සිදු නොවේවා! යන්න බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අවධාරණය කරයි.

එසේ ම යුද්ධයේ දී මිය ගිය සියලු දෙනා අපේ ම රටේ අපේ ම අය බවත් මේ සෑය නමදින මොහොතක් පාසා ඔවුන්ට ද පින් අනුමෝදන් වේවා යැයි ප්‍රාර්ථනා කරන බව අගමැතිවරයා පැවසීය.

එදා මහරජ ගැමුණට මෙන් ම මෙදා අපට ද යුද්ධ කිරීමට සිදුවූයේ නිදහස සහ රටේ ආරක්ෂාව වෙනුවෙන් පමණක් බව ද පෙන්වා දුන්නේය.

ඊයේ සවස (18) අනුරාධපුරයේ ඉදිකළ සඳහිරු සෑය සඟ සතු කර සම්බුදු සසුනට පූජා කළ පුණ්‍ය මහෝත්සව අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

සඳහිරු සෑය සඟසතු කළ ඓතිහාසික අවස්ථාව අමතමින් අග්‍රාමාත්‍යවරයා කළ සම්පූර්ණ කථාව මෙසේය.

රණවිරුවන්ගේ දෑතින්ම ගොඩනැගූ මේ මහා සෑය රණවිරුවන් නාමයෙන් ලෝකයාට වැඳුම් පිදුම් කිරීමට පිරිනමන මේ අවස්ථාවට මම සහභාගි වෙන්නේ ඉතා ම උද්දාමයෙන් බව කියන්න ඕනෑ. ඉතා ම බරපතළ තීන්දු රට වෙනුවෙන් අරගෙන ඒවා සාර්ථක කරගත් අවස්ථාවල මම අප්‍රමාණ සතුටක් භුක්ති විඳලා තියෙනවා. ඒ අවස්ථාවල දී ලැබුණ සතුටට වඩා වැඩි නිරාමිස සතුටක් මේ මහා පුණ්‍යකර්මය සම්පූර්ණ කරන මොහොතේ භුක්ති විඳින බව මම කියන්න ඕනෑ.

යාපනේ නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පාගේ ඝාතකයන් අත්අඩංගුවට ගන්න ගිහින් මන්නාරමේ දී ඝාතනයට ලක් වූ පොලිස් නිලධාරි බස්තියන් පිල්ලේගේ සිට 1981 යාපනේ දී ත්‍රස්තවාදීන් අතින් ඝාතනයට ලක් වූ කෝප්‍රල් හේවාවසම්ගේ සිට නන්දිකඩාල්වල අවසාන දිනයේ මියගිය සෙබළා දක්වා සියලු රණවිරුවන්ට සහ අපේ රටට සාමය උදා කරන්න කැප කිරීම් කළ සියලු ම රණවිරුවන්ටත් ඒ වාගේ ම යුද්ධයේදී මිය ගිය සියලු පාර්ශවයන්ටත් මේ සෑය නමදින මොහොතක් පාසා පින් අනුමෝදන් වේවා! යැයි මම ප්‍රාර්ථනා කරනවා.‍ මියගිය සියලු ම දෙනා අපේ ම රටේ අපේ ම අය.

අපි ඉතිහාසය පුරා ම යුද පිටියේ ජයග්‍රහණය ලැබුවේ දස්කම් නිර්භීතකම් නිසාම පමණක් නොවෙයි. ඒ, මේ රට එක්සේසත් කළ ගැමුණු මහ රජතුමා ඓතිහාසිකව අපට හඳුන්වා දීපු උදාර මානුෂීය සම්ප්‍රදායන් ඉතිහාසය පුරා ම වගේ ම අදත් අපි අනුගමනය කරන නිසායි.

අපි එදා වාගේ ම අදත් යුද්ධ කළේ නිදහස සහ රටේ ආරක්ෂාව වෙනුවෙන් පමණයි. ගැමුණු රජතුමා කිව්වා “මාගේ මේ ව්‍යායාමය රජ සැප පිණිස නොව, බුදු දහමේ චිරස්ථිතියත් ජාතියේ ආරක්ෂාවත් පිණිසයි.” කියලා. එදා යුද්ධ කර අවසාන වුණ වහා ම ආයුධ අතහැරියා. සතුරාගෙත් නිදහසේ ජීවත් විමේ අයිතිය ආරක්ෂා කළා. ඒ වගේ ම කාටත් සමාව දීලා සියලු වේදනාවන් අමතක කළා.

යුද්දේ ඉවර වුණා ම ගැමුණු රජතුමා කොටු පවුරු බැන්දෙ නෑ. බැන්දේ මහා වැව්, බැන්දෙ දාගැබ්. අපිත් කළේ එහෙමයි. යුද්දේ ඉවරවුණ ගමන්ම අපි රණවිරුවන් වෙනුවෙන් රණවිරු මහා සෑයක් හදන්න මුල් ගල තිබ්බා. මට මතකයි ඇතැම් සේනාංක යුද්දේ ඉවර වුණ ගමන් ම කාලතුවක්කු උණ්ඩ තලලා ඒවායින් බුදු පිළිම හදලා පූජා කළා. දස දහස් ගණන් තරුණයන් පුනරුත්ථාපනය කරලා නිදහස් කළා.

මේ සෑය විවෘත කරන මොහොතේ අපේ රටේ එදා තිබුණ මරණ බිය ගැන මතක් කරන්න ඕනෑ. 1984 ඩොලර් ෆාම්, කෙන්ට් ෆාම්, කෝකිලායිවලට ගහලා 91ක් මරලා අපේ ඓතිහාසික රාජධානිවල ගම්වලට මරණ බය ගෙනාවා. එයින් පස්සේ අපේ රටේ මායිම් ගම්මාන කියලා ජාතියක් ලංකා සිතියමට එකතු වුණා. ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිට වූ නිසා මේ පළාතට කිව්වේ “පිහිටි රට” කියලා.

වැඩිකල් නොගිහින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පාමුලටත් ඒ මරණ බය ගෙනාවා. එදා ශ්‍රී මහා බෝධිය ළඟ සිල් ගත්තු උපාසක උපාසිකාවෝ 120ක් ඝාතනය කළ ත්‍රස්තවාදීන්, යන ගමන් විල්පත්තුවේ ගම්මානවල 81ක් ඝාතනය කළා. ඊළඟට තිරිකුණාමල, මොරවැව, මහදිවුල් වැව, මැදිරිගිරිය, පල්ලිය ගොඩැල්ල, හොරොව්පතාන, ජානකපුර, ජයන්තිපුර, වැලිඔය, අම්පාර, උහන, කල්මුණේ, සියඹලාණ්ඩුව, මොරවැව වාගේ ම මොනරාගල සීමාවේ ඇතිමලේ දක්වා ම ගම්වල මිනිස්සුන් කැති ගහලා මරා දැම්මා. කොළඹ බස් නැවතුමෙන් පටන් අරන් මහ බැංකුවේ දෙහිවල දුම්රිය පොළේ බෝම්බ පුපුරවලා පටන් ගත්ත ගමන 2009 දී දකුණේ මාතර අකුරැස්සෙත් බෝම්බ පුපුරවලා පිරිසක් මරා දැමූ බව ඔබට මතක ඇති.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා වාගෙ ම සෑම ජනාධිපතිවරයෙක්ම මේ ප්‍රශ්නය විසඳා ගන්න උත්සාහ කළා.
ජේ.ආර්. ජයවර්ධන තිම්පුවල වටමේස සාකච්ඡා පැවැත් වූවා මතක ඇති. පලක් වුණේ නැති නිසා ජේ.ආර්. ඉන්දු – ලංකා ගිවිසුමක් ගහලා ඉන්දියානු හමුදාව ගෙනල්ලා උතුර භාර දුන්නා. අපේ හමුදා බැරැක්කවලට සීමා කළා. හමුදාව කඳවුරෙන් එළියට යනවා නම් ඉන්දියන් හමුදාවෙන් අවසර ගන්න තැනට පත් කළා. මේ කවුරුත් එදා අපේ ත්‍රිවිධ හමුදාව ගැන, එහි ශක්තිය ගැන විශ්වාස කළේ නෑ.

එයින් පස්සේ ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ ගුවනින් කොටි නායකයන් කොළඹට ගෙනල්ලා සාකච්ඡා කළ බව ඔබට මතකයි. පොලිසියේ 800ක් යටත් කරවලා පාවා දුන්නා. ඒ විතරක් නොවෙයි එල්ටීටීඊයට ආයුධ පවා දුන්නා. ඒ ආයුධත් අන්තිමට එසවුණේ අපේ සෙබළුන්ටමයි. කමල් ගුණරත්න මැතිතුමා දන්නවා ඇති. අවසානයේ දී ප්‍රේමදාස ජනාධිපතිතුමාවත් මහමග මරා දැම්මා.

ඊළඟට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ කාලෙ සුදු නෙළුම, තවලම වාගේ වැඩසටහන් කරලා ඔස්ලෝ නුවර ගිහින් මේ ප්‍රශ්නය නිරාකරණය කර ගන්න සාකච්ඡා කළා. මට මතකයි ඒ කාලේ රණවිරුවන් කියන වචනය අයින් කළා. රණවිරුවන්ට රජයේ ආරක්ෂක සෙබළුන් කියන වචනය පාවිච්චි කළා. රණවිරුවන්ට ගරු කිරීම සාමයට බාධාවක් කියලයි හිතුවේ. නමුත් එතුමියටත් බෝම්බ ගැහුවා. බෝම්බ ගහලා එතුමියවත් අඩපණ කළා.

ඊළඟට පස්සේ ආව රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කාලේ, එල්ටීටීඊය එක්ක සාකච්ඡා කරලා සටන් විරාම ගිවිසුමකට එතුමා ගියා. එල්ටීටීඊ පාලනයට වෙනම ප්‍රදේශ වෙන් කරලා දුන්නා. නෝර්වේ රාජ්‍යය සටන් විරාම ගිවිසුමේ නිරීක්ෂකයො හැටියට පත් කළා. අපේ හමුදාව කඳවුරුවලට සීමා කළා. ත්‍රස්තවාදීන් කඳවුරු ඉදිරියට ඇවිත් උසුළු විසුළු කරන කොට අපේ සෙබළුන්ට ඒ නින්දාවල් උසුලාගෙන ඉන්න වුණු බව ඔබ දන්නවා. මේ කාටවත් අපේ ආරක්ෂක හමුදා ගැන විශ්වාසයක් තිබුණේ නෑ.

මට මතකයි අගමැති හැටියට මම උතුරට යන්න හදන කොට උතුරට යන්න නම් එල්ටීටීඊයේ අවසර ගන්න ඕනයි කියලා නෝර්වේ සටන් විරාම නිරීක්ෂණකයෝ මට කිව්වා. රටක එහා මෙහා යන්න අගමැතිටත් අවසර ගන්න වෙනවා නම් ඒක වෙන ම රටක්. “මගේ රටේ ඇවිදින්න මට කාගෙන්වත් අවසර ගන්න ඕනෑ නෑ, කවදා හරි නිදහසේ මම උතුරට යනවා.” කියලා මම එදා කිව්වා.

අපේ රටේ ජනතාවගේ දරුවන්ගෙන් හැදුණු ආරක්ෂක හමුදාව ගැන ලොකු විශ්වාසයක් අපට තිබුණා. එවකට ආරක්ෂක ලේකම් හැටියට කටයුතු කළේ වර්තමාන ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. එතුමා ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ ද සහය ඇතිව ආරක්ෂක අංශය නිවැරදිව මෙහෙයවමින් රටට සාමය උරුම කිරීමේ වගකීම ඉටුකිරීමට දායක වුණා.

රටක ආරක්ෂක හමුදාව ගැන විශ්වාසය නැතිනම් ඒ රටේ ජාතික ආරක්ෂාව අහිමි වෙනවා කියලයි හැමෝම විශ්වාස කරන්නේ. එදා වගේ අපේ හමුදාව අමතක කරලා විදෙස් හමුදා, විදෙස් මැදිහත්වීම්වලට ඉඩ දුන්නා නම් තවමත් අපේ රටේ ලේ ගලා යනවා.

මේ සඳහිරු සෑයෙන් සිහිපත් කරන රණවිරුවන් ඉටුකළ මානුෂීය මෙහෙවර මෙතෙක් අපේ ඉතිහාසයේ නිදහස සඳහා කළ සියලු යුද්ධවලට වඩා ඉතා අසීරු එකක් කියලයි මම හිතන්නේ. මට මතකයි එල්.ටී.ටී.ඊ.යට එරෙහිව යුද්දේ පටන් ගන්න කලින් මම එංගලන්තයේ එවකට සිටි අගමැතිවරයා හමුවුණ මොහොත.

එල්ටීටීඊය නිරායුධ කරලා රටට සාමය ගේන්න ඕනෑ බව මම කිව්වාම, ඔහු කිව්වා ඒක කරන්න පුළුවන් කියලා එයා නම් හිතන්නේ නෑ කියලා. ඒකට කාරණා කීපයක් එතුමා මට කිව්වා. එතුමා එදා කිව්වා දැනටමත් මේ ප්‍රශ්නය ජාත්‍යන්තරයට ගෙනිහින් ඉවරයි.

සටන් විරාම ගිවිසුමක් ගහලා ඊට ජාත්‍යන්තර වශයෙන් රටවල් රාශියක් මැදිහත් කරගෙන ඉවරයි. දැන් එයින් ගැලවෙන්න අපිට බෑ කියලා. දෙවැනි කාරණය හැටියට කිව්වේ දැනටමත් එල්.ටී.ටී.ඊයට වෙනම පාලන ප්‍රදේශ තියෙනවා, වෙනම බැංකු තියෙනවා, වෙනම මුදල් තියෙනවා. වෙනම පරිපාලන ක්‍රමයක් තියෙනවා, ඒවා කරන තුරු අපේ ආණ්ඩු බලාගෙන ඉඳලා තියෙනවා. දැන් ඒවාට කරන්න දෙයක් නෑ කියල.

ඊළඟට එල්ටීටීඊයට මරාගෙන මැරෙන සටන්කරුවො ඉන්නවා. මිසයිල, කාලතුවක්කු තියෙනවා. නැව්, ප්‍රහාරක නාවික යාත්‍රා, ගුවන් යානාත් තියෙනවා. ඒවාට මුහුණ දෙන්න ඔබට පුළුවන් ද කියන ප්‍රශ්නය මගෙන් එංගලන්ත අග්‍රාමාත්‍යවරයා එදා ඇහුවා.

ලෝකෙම එහෙම කියද්දිත් අපේම ජනතාවගේ දරුවන් වූ අපේ රණවිරුවො ගැන අපට ලොකු විශ්වාසයක් තිබුණා. අපේ රණවිරුවෝ කළේ අසමසම කැප කිරීමක්. අපි එදා ලෝක බලවතුන් අත්සන් කළ සටන් විරාම ගිවිසුමත් ඉරා දැම්මා. අපේ රණවිරුවන්ට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කර තිබුණ යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් දැන් ඉවත් වෙලා තියෙනවා. අපි දන්නවා මේවායේ බලපෑම දැන් අපිට එරෙහිව එනවා කියලා. නමුත් අපිට සියල්ලට වඩා වටින්නේ අපේ නිදහස.

තමන් ජීවත් වෙන බිමේ නිදහස බුදු හාමුදුරුවොත් අගය කළා නේද හාමුදුරුවනේ. කැට කුරුල්ලා කියන පුංචි ම කුරුල්ලාටත් ඌට උරුමයෙන් ලැබුණ කැදැල්ලේ නිදහසේ ජීවත් වෙන්න අයිතිය තියනවා. ගොවියො පස පෙරළන කොට, ඒ පස් පිඩැල්ල යට තියෙන පුංචි ඉඩේ තමයි, කැට කුරුල්ලා ඉන්නේ. කැට කුරුල්ලා එළිමහනේ ඉන්න කොට ඌව අල්ල ගන්න උකුස්සො, ගිජුලිහිණි වේගයෙන් පියාසරා ගෙන පොළොවට එනවා. නමුත් කැට කුරුල්ලා පස් පිඩැල්ල යට තියෙන පුංචි ඉඩේ තියෙන කූඩුවට ගියාම ඌව අල්ලන්න ගිජුලිහිණියාටත් බෑ. උපන් බිමේ ආරක්ෂාවත් නිදහසත් ඒ වාගෙයි.

ලේ ගංගා නතර කරලා, මරණ බිය තුරන් කරලා, අපේ රට අභය භූමියක් කළ රණවිරුවන් වෙනුවෙන් මේ සඳහිරු සෑය හදලා ප්‍රාර්ථනා කරන්නේ අනාගතයේ කිසිදාක එවැනි සිදුවීම් සිදු නොවේවා! යැයි කියලයි.

අපේ රට මොන තරම් පුංචි වුණත් අපිටත් අපේ රටේ ජීවත් වෙන්න නිදහස තියෙන්න ඕනෑ. අපේ රටේ නිදහස වෙනුවෙන් කැප වූ රණවිරුවන්ගේ ආරක්ෂාවත්, ජීවිත පරිත්‍යාගයෙන් රණවිරුවන් අපට උරුම කළ නිදහසත් රැක ගැනීම, අපේ නායකයොත් අනාගතේ පහළ වෙන නායකයොත් භාර ගන්න ඕනෑ බව සඳහිරු සෑය හමුවේ මම ඉල්ලා සිටිනවා.

ඔබ සැමට තෙරුවන් සරණයි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 2 =