ප්‍රතිසංස්කරණය කළ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පිරිත් පිංකමක්

(ලංකාපුවත් | කොළඹ) –අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් සර්ව රාත්‍රි පිරිත් දේශනාවක් හා සංඝගත දක්ෂිණාවක් පෙරේදා සහ ඊයේ (21) ප්‍රතිසංස්කරණය කළ අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍රයේ දී සහ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

සර්ව රාත්‍රික පිරිත් දේශනය කොළඹ 07 අර්නස්ට් ද සිල්වා මාවතේ අංක 58 ස්ථානයේ පිහිටි ප්‍රතිසංස්කරණය අවසන් කළ අග්‍රාමාත්‍ය කාර්යාල ගොඩනැගිල්ලේ පැවැත්විණි.

අග්‍රාමාත්‍යතුමාට මෙන්ම ජනාධිපතිතුමාත්,රජයටත්,ශ්‍රී ලංකාවාසී සියලු දෙනාටත් මෙලොව යහපත අභිවෘද්ධිය උදාවීම තුළින් මේ රටේ ඇතිව තිබෙන කොවිඩ් වසංගත තත්ත්වය සම්පූර්ණයෙන්ම රටින් තුරන් වී රටට යහපත් වූ කාල වකවානුවක් උදා වේවා! යන ප්‍රාර්ථනාව ඇතිව මෙම ආශිර්වාද පිරිත් පිංකම පැවැත්විණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය හා සම්භාවනීය අමුත්තන් රැසක් පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමේ අවස්ථාවට එක්වූහ.

අරලියගහ මන්දිරයේ අද (21) දින පැවති සංඝගත දක්ෂිණාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද එක්වූයේය.

ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ පිරිත් සඡ්ජායනාවට පෙර කෙටි අනුශාසනාවක් පැවැත්වූහ.

කොයිකාගෙත් හදවතේ සදා නොමැකෙන මතක තැබූ නායකයා විධියට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉතිහාස ගතවෙලා ඉවරයි. මේ ජන්ම දිනය සුවිශේෂී ජන්ම දිනයක් බවට පත්වන්නේ, රජ කාලයෙන් පසු ඉදිකළ ඒ සුවිශාල සඳහිරු සෑය මහජනතාවට විවෘත කිරීම නිසයි. ශ්‍රී ලංකා ඉතිහාසය දිහා බලපුවාම මේ රටේ පහල වුණ ශ්‍රේෂ්ඨ නරපතියන්ට තිබුණු ලොකුම අභියෝගය තමයි රට පරසතුරු ආක්‍රමණවලින් මුදා ගැනීමත් සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමත්. ඒ කාර්යයන් දෙකම මැනවින් ඉෂ්ඨ සිද්ධ කරපු ජන නායකයකු හැටියට සියලු දෙනාගේම ගෞරවය අග්‍රාමාත්‍යතුමාට ලැබෙනවා.

උතුරු හා නැගෙනහිර විතරක් නෙමෙයි ලංකාවේම වෙහෙර විහාර ප්‍රතිසංස්කරණයට ඔබතුමා කටයුතු කළා. අපේ ගාමිණී සෙනරත් මහතාත් ඒ සම්බන්ධයෙන් සුවිශේෂිත කාර්යය භාරයක් ඉටු කළා. ඒ වගේම කුරිරු යුද්ධය නිමා කිරීමේ සුවිශේෂී කාර්යයේ දී එදා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඔබතුමන්ට යෝධ ශක්තියක් වුණා. ඒ ශක්තියේ ප්‍රතිඵලය සුවහසක් බලාපොරොත්තු මල්ඵල ගැන්නුවා.

අද මේ පිංකම පැවැත්වෙන ගොඩනැගිල්ල මහේශාක්‍යවූත් ප්‍රතාපවූත් ආකාරයට නැවත පිළිසකර කර තිබෙනවා. අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාට භාරකළ මේ කාර්යය, අනතුරුව නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය ඇතිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව ඉතාම වටිනාකියන අයුරින්, ඉතාමත්ම දර්ශනීය ආකාරයට මේ ගොඩනැගිල්ල නිමා කර තිබෙනවා.

විසිවන ශතවර්ෂයේ දී මේ රටේ කොළඹ හිටපු ධනවත් ව්‍යාපාරිකයකු වන ඇල්බට් එමානුවෙල් ද සිල්වා මැතිතුමා තමන්ගේ ආදරණීය එකම පුත්‍රරත්නය වන ඇල්බට් අර්නස්ට් ද සිල්වා මැතිතුමා වෙනුවෙන් 1916 දී මේ මන්දිරය ඉදි කරලා සිරිමතීපාය නමින් නම් කරන්න යෙදුණා. 1960 වර්ෂයේ දී අර්නස්ට් ද සිල්වා මැතිණිය විසින් මේ මන්දිරය ලක් රජයට පිරිනමනවා. ඉන් අනතුරුව 1961 මැයි මාසයේ අධ්‍යාපන හා ගුවන් විදුලි අමාත්‍යාංශය සිරිමතීපායේ පිහිටුවීමත් සමඟ රාජ්‍ය ආයතනවල භාවිතය සඳහා මෙම ගොඩනැගිල්ල යොදා ගන්නවා. එවක පටන් 1977 වර්ෂය දක්වා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, පළාත් පාලන ආයතනය ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයකට නිවහන වෙන්නේ මේ සිරිමතීපායයි.

1977 වර්ෂයේ දී පළාත් පාලන හා ඉදිකිරීම් අමාත්‍යවරයා හැටියට ආර්.ප්‍රේමදාස මැතිතුමා සිය අමාත්‍යාංශ කාර්යාලය වශයෙන් සිරිමතීපාය භාවිතා කරනවා.අනතුරුව ඩී.බී විජේතුංග මැතිතුමා, රනිල් වික්‍රමසිංහ මැතිතුමා,චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, මහින්ද රාජපක්ෂ මැතිතුමා, රත්නසිරි වික්‍රමනායක මැතිතුමා, දි.මු ජයරත්න මැතිතුමා, අග්‍රාමාත්‍යවරුන් හැටියට මේ ස්ථානය පාවිච්චි කරනවා.

විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණය වන්නේ මේ ස්ථානය ක්‍රම ක්‍රමයෙන් පරිහානියට පත්වෙමින් යද්දි, 2019 නැවත අග්‍රාමාත්‍යධුරය භාරගන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දැඩි අවධානය මෙම ගොඩනැගිල්ල වෙනුවෙන් යොමු වෙලා, එහි ප්‍රතිසංස්කරණ කටයුතු වහාම ආරම්භ කරන හැටියට තමන්ගෙ ලේකම්තුමාට දැනුම් දෙනවා. වසර දෙකක් ගතවෙන මේ මොහොතේ සිරිමතීපාය ඒ පවුලේ අයවත් සම්බන්ධකරගෙන, ඒ අයත් ගෙන්වලා, අවශ්‍යතා සොයලා ඉතාම හොඳින් ඉෂ්ට සිද්ධ කර තිබෙන බව අපි දන්නවා යැයි ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ අනුශාසනාවේ දී පැවසූහ.

සංඝගත දක්ෂිණාව අවස්ථාවේ සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ අනුනායක දිඹුල් කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම අනුනාහිමියෝ කෙටි අනුශාසනාවක් පැවත්වූහ.

මේ රට ජාතිය ආගම බේරාගත්ත මහා යෝධ සිංහලයා තමයි වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් ඊයේ දිනයේ පටන් මේ දක්වා පැවැත්වෙන මේ උදාර පිංකම් මාලාව ඉතාම වැදගත්. රුවන්වැලි මහ සෑයට ගරු කිරීමක් වශයෙන් ඊට අඩි10-15ක් පහළින් සිටින පරිදි සඳහිරු සෑය ඉදිකොට තමන්ගෙ උපන් දිනය දා බැතිමතුන්ට පුද පුජා පවත්වන්න විවෘත කළා. ඒ චෛත්‍යාරාජයාණන් වහන්සේගේත් තුණුරුවන්ගේත් ආශිර්වාද ලබාගෙන ඉදිරි කටයුතු ඉතා යහපත්ව කරගෙන යන්නත්, විනිවිදභාවයෙන් මේ රටේ ආරක්ෂාව, අභිවෘද්ධිය මෙන්ම සියලු ජනතාවගේත් සම්බුද්ධ ශාසනයේත් යහපත උදෙසා කටයුතු කරන්න ඔබතුමන්ට ශක්තිය ධෛර්ය බලය සහ නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා යැයි අනුනාහිමියෝ පැවසූහ.

සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ අනුනායක දිඹුල් කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, සමස්ත අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහානායක දොඩම්පළ චන්ද්‍රසිරි ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක මකුලෑවේ ශ්‍රී විමල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ මහානායක තිරිකුණාමලයේ ආනන්ද ස්වාමීන්ද්‍රයන්වහන්සේ ඇතුළු මහානායක, අනුනායක හිමිවරු ප්‍රධාන මහා සංඝරත්නය අරලියගහ මන්දිරයේ පැවැති සංඝගත දක්ෂිණාවට වැඩම කළහ.

මෙම අවස්ථාවන්ට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග ඇතුළු මැති ඇමතිවරුන්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්තඋළුගෙතැන්න,ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ,අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරුන්වන හර්ෂ විජේවර්ධන, නීතිඥ චමින්ද කුලරත්න මහත්වරු ඇතුළු අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරී මහත්ම මහත්මීහු රැසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *