වාචික හිංසනය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය කථානායකට කියයි

(ලංකාපුවත් | කොළඹ) – අතලොස්සක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ වාචික හිංසනයට ලක්වීම පිළීබදව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් කථානායකවරයාගේ අවධානයට යොමුකර තිබේ.

පසුගියදා මන්ත්‍රීවරයෙකු විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට එරෙහිව සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකරමින් සිය ලිපිය යොමු කර ඇති සභාපතිනිය සදහන් කර ඇත්තේ මීට පෙර අවස්ථාවලද වාචික හිංසනයන් තුළින් උත්තරීතර පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරියන් අපහසුතාවට පත්වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම සිදුවී ඇති බවත් එය ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමාජයක යහපත් පූර්වාදර්ශයක් නොවන බවයි.

නීති සම්පාදනයට දායක වන මහජන නියෝජිතවරියන් කාන්තාවක් වීම තුළ එම ස්ථානය තුළදීම හිංසනයට ලක්වන්නේ නම් එමගින් පෙන්නුම් කරනුයේ සමස්ථ සමාජයක පරිහාණිය බව පෙන්වාදී ඇති එතුමිය, ගෘහස්ථ,
පොදු මගී සේවා, මහමග සහ වෘත්තීය ස්ථානයේ දී කාන්තාවන්ට මුහුණ පෑමට සිදුවන හිංසනයන් පිළිබදව සාකච්ඡා කෙරෙන, එවැනි දෑ වැළැක්වීමට කටයුතු කරන උත්තරීතර ආයතනයක මන්ත්‍රීවරියන්ට එරෙහි වාචික හිංසනය සිදුවන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සභ්‍යත්වය අගයන කිසිවෙකු අනුමත නොකරන්නක් බවද පෙන්වා දී ඇත.

සිය ලිපිය මගින් ඇය වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ මෙවැනි තත්වයක් තුළ ජනගහනයෙන් 52%ක් වන කාන්තාව කෙරෙහි සමාජයේ ඇති පසුගාමී ආකල්පය මැන බැලීමට විශේෂ විශ්ලේෂණාත්මක දත්ත අවශ්‍ය යයි තමන් නොසිතන බවත් සිංහල, දෙමළ සහ මුස්ලිම් යන ප්‍රධාන ජන කොටස් තුනම අඩු වැඩි වශයෙන් කාන්තාව පුරුෂයාගේ දේපළක් ලෙස, පුරුෂයාගෙන් පාලනය විය යුතු, පුරුෂයන්ට වඩා පහළ මනුෂ්‍යන් කොටසක් ලෙස සමාජීය වශයෙන් මෙන්ම ආගමික, සහ නීතිමය රාමු තුළත් අර්ථ දැක්වීමට උත්සාහ කිරීම තුළින් හදුනාගත හැකි බවයි.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *