GPS තාක්ෂණය මුල්කර ගත් අනුරපුර රුක් රෝපණ වැඩසටහන

(ලංකාපුවත් | කොළඹ) –අනුරාධපුර රුවන්වැලි මහා දා ගැබ හා ථූපාරාම දාගැබ සම්බන්ධ වන නව පෙත් මඟ දෙපස රුක් රෝපණය කිරීමේ කටයුතු සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් පූර්ණ අනුග්‍රහය දක්වා තිබේ.

මෙම පෙත් මඟ දෙපස විශාලව වැඩෙන ශාක 180ක් රෝපණය කිරීම පසුගියදා(20) පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මින් පෙර ද මෙවැනි සිද්ධස්ථාන ගණනාවක පරිශ්‍රයන් හි රුක්රෝපණය සඳහා දායකත්වය ලබා දී ඇති අතර රෝපණය කරන සෑම ගසක්ම GPS තාක්ෂණය යොදා ගනිමින් නියාමනය කිරීම ද සිදු කෙරේ . එමෙන්ම වසර තුනක් යන තෙක් එම ගස් හොඳින් රැක බලා ගැනීම ද සිදුකරනු ලබයි.

පරිසර අමාත්‍යාංශය විසින් අපේ රටේ රුක්ගහණය වැඩි කිරීම සඳහා අරඹන ලද හුස්ම දෙන තුරු ජාතික රුක්රෝපණ වැඩ පිළිවෙළ යටතේ මෙම රුක්රෝපණ කටයුතු සිදු කරන ලදී.

මෙම අවස්ථාවට සහභාගි වූ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය.

අපේ රටේ වනවැස්ම 2025 වනවිට සියයට 30 දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර තිබෙනවා. ඒ යටතේ මෙවර අයවැය මගින් පරිසර, වනජීවි, වනසංරක්ෂණ යනාදි අමාත්‍යාංශවලට මුදල් ප්‍රතිපාදන ලබා දීමට කටයුතු කළා. අපේ රටේ මේ වනවිට වනවැස්ම සියයට 29ක්. සියයට 30 දක්වා වනගහණය ඉහළ නැංවීමට නම් තවත් සියයට 01කින් වනගහණය වැඩි කළ යුතුයි. ඒ සඳහා හෙක්ටෙයාර් 16,000ක් අලුතින් වන වගාව සිදු කළ යුතුයි.

එම කටයුත්ත පහසු දෙයක් නොවෙයි. නමුත් අපි එම අභියෝගය බාර ගෙන තිබෙනවා. ගුවන් හමුදාව විසින් ගුවන් යානා උපයෝගි කර ගනිමින් විවිධ ශාකවල බීජ වනාන්තරවලට ගුවනින් හෙළීමේ වැඩ සටහනක් ආරම්භ කළා. මට ලැබී තිබෙන තොරතුරු අනුව අක්කර 200ක පමණ ප්‍රදේශයක ඔවුන් දැනට ගුවනින් බීජ හෙළා තිබෙනවා.

අපිත් පරිසර අමාත්‍යාංශය මගින් ආරම්භ කරන ලද හුස්ම දෙන තුරු ජාතික රුක්රෝපණ වැඩ සටහන යටතේ අපේ ඉළක්කය වුනේ ඉදිරි වසර 05ක කාලයක් තුළ පැළ මිලියන 02ක් රෝපණය කිරීමයි. නමුත් අපිට එම ඉළක්කය වසර දෙකක් තුළ ඉක්මවා යා හැකියි. අපිට පළමු වසර තුළ ම පැළ ලක්ෂ 15ක් ඉක්මවා රෝපණය කිරීමට හැකි වුනා.
අද මෙම රුක්රෝපණ වැඩ සටහන යටතේ පැළ 180ක් පමණ රෝපණය කරනවා. මෙම සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට පැමිණෙන සැදැහැවතුන්ට සෙවණ සැලසීමත්, මෙම ප්‍ර දේශයේ නිදැල්ලේ ජීවත්වන වන සතුන්ට අවශ්‍ය ආහාර ලබා ගැනීමටත් පහසු වන පරිදි අපි පලතුරු පැළ රෝපණය කිරීමට පියවර ගන්නවා. රුවන්වැලිසෑය, ථූපාරාමය ඇතුළු අටමස්ථානය පිහිටා තිබෙන මෙම ඓතිහාසික භූමිය අතීතයේ හැඳින්වුයේ මහමෙවුනා උයන ලෙසයි. යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම අවස්ථාවට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සජ්ජන ද සිල්වා මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *