පාරුව පෙරලීමේ සිද්ධිය වෙනුවෙන් CID පරීක්‍ෂණයක් ඉල්ලයි

(ලංකාපුවත් | කොළඹ) – අනපේක්ෂිත අයුරින් හා කිසි කෙනෙක් බලාපොරොත්තු නොවූ අයුරින් ඊයේ (23) කින්නියා, කුරුන්චන්කර්නි කලපුවේ පාරුව පෙරලීමෙන් ඇති වූ අවාසනාවන්ත සිද්ධියෙන් මියගිය පාසල් දරුවන් වගේම වැඩිහිටි අය වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාට රජයේ සහ මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටින බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා අද(24) පාර්ලිමේන්තුවේදී පැවසී ය.

එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නැයි රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලීමක් ද කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,

ඒ වගේම රෝහල් ගතවෙලා ප්‍රතිකාර ලබන සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

දීර්ඝ කාලයක් තිස්සේ කින්නියා, කුරුන්චන්කර්නි කලපුව හරහා පාලමක් නොතිබීම නිසා ජනතාව දැඩි පීඩාවට පත්වෙලා හිටියා. එම ප්‍රදේශයේ ජනතාව කලපුව හරහා ගමන් කිරීමට කාලයක් තිස්සේ අනාරක්ෂිත ලෙස බෝට්ටු යොදා ගත්තා. ජනතාවගේ එකම ඉල්ලීම වුනේ ඒ පාලම හදලා දෙන්න කියලා. යහපාලන රජය කාලයෙත් විවිධ ඇමතිවරු ගිහින් මුල්ගල තැබුවා. ඒත් පාලම හදාගන්න නොහැකි වුනා. ආණ්ඩුවට සහය දක්වන එම ප්‍රදේශය නියෝජනය කරන තවුෆික් මන්ත්‍රීතුමා ඉල්ලීමක් කලා එම ප්‍රදේශයේ ජනතාවට දැවැන්තම ප්‍රශ්නය වුන අනාරක්ෂිත ලෙස පාරුවල ගමන් කරන නිසා පාලමක් හදලා දෙන්න කියලා.

අපේ රජය බලයට පත්වුනාට පස්සේ 2021.04.10 දින පාලම හදන්න මුල්ගල තිබ්බා. පාලම හදන්න ඉස්සෙල්ලා 2020 නොවැම්බර් 24 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සාකච්ජාවකදී එම ප්‍රෙදේශයේ දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් නගර සභා, ප්‍රාදේශීය සභා නියෝජිතයින් කිලෝ මීටර් තුන හමාරක විකල්ප මාර්ගයක් පාවිච්චි කරන්න ඒකමතිකව තීරණය කළා. මාර්ග සංවර්ධන අධිකාරිය ලෙස පාලම හදලා නිමවන තුරු කිලෝ මීටර් තුන හමාරක විකල්ප මාර්ගය පාවිච්චි කරන්න තමා අවසර ලබා දීලා තිබුනේ. ඒ මාර්ගය හදලා ජනතාව පාවිච්චි කරද්දි තමා අනාරක්ෂිත ලෙස පාරුව සදහා අවසර ලබා දීලා තියෙන්නෙ

කින්නියා ප්‍රාදේශීය සභාව මාර්ග සංවර්ධන අධිකාරියෙන් පාරුවක් දැමීම සදහා අවසර ඉල්ලනවා. අපි පැහැදිලිව කියනවා පාරුවක් දාන්න අවසර දෙන්නෙ නැහැ කියලා. කින්නියා නගර සභාවත් අවසර ඉල්ලනවා. අපි පැහැදිලිව කියනවා පාරුවක් සදහා අවසර දෙන්න බැහැ විකල්ප මාර්ගය භාවිතා කරන්න කියලා. මෙහෙම තියෙනකොට තමා කින්නියා නගර සභාව තමන්ට නැති බලයක් උපයෝගී කරගෙන පාරුවට අවසර ලබා දෙන්නෙ. කෙටි මාර්ග වලින් මුදල් අය කරගන්න ව්‍යාපාරිකයෙකු සදහා පාරුවට අවසර ලබා දී තිබෙන්නෙ.

පාරු සේවාවක් පවත්වාගෙන යාමේදී අනුගමනය කළ යුතු ආරක්ෂිත ක්‍රමවේදයක් තියෙනවා. අවම තරමින් මේකට ජීවිත ආරක්ෂක කබායක්වත් නැහැ. මේ නිසා තමා කින්නියා ප්‍රදේශයේ අහිංසක ජනතාව මේ සිදුවීමට මුහුණ දෙන්නේ. පැහැදිලිව කියන්න ඕනේ මේකේ පළවෙනි වගඋත්තරකරු කින්නියා නගර සභාව කියළා.

අපි අවසර ලබා දෙන්න බැහැ කියද්දී, ප්‍රදේශීය ලේකම් ඇතුලු රජයේ නිලධාරීන් අවසරය දෙන්න බැහැ කියද්දි කින්නියා නගර සභාවේ නගරාධිපති කරපු ක්‍රියාදාමය නිසා තමයි අහිංසක මිනිස්සු මරණයට පත් වූනේ. මේ නිසා කින්නියා නගර සභාවේ නගරාධිපති වග කියන්න ඕනේ.

මේ විකල්ප මාර්ගය දුර වැඩි නිසා මාර්ග සංවර්ධන අධිකාරිය සම්බන්ධ වෙලා පාරු සේවයක් තාවකාලිකව පටන් ගන්න කියලා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් මතු කළා මීට මාස තුන හතරකට පෙර. ඒ නිසා මම පොරොන්දු වුනා පාරු සේවාවක් ආරම්භ කරනවා කියලා. 2021 ජුලි 14 දින කොන්ත්‍රාත් සමාගමට උපදෙස් ලබා දුන්නා මේ පිළිබදව කටයුතු කරන්න කියලා. පාරු සේවාවක් ආරම්භ කිරීම කොන්ත්‍රාත් සමාගමේ පළමු ගිවිසුමේ තිබුනෙ නැහැ.

ප්‍රදේශයේ ජනතාව හා පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ ඉල්ලීම පරිදි පාරු සේවාවක් ආරම්භ කිරීමට තීන්දු කළා. ඉංජිනේරුවරුන්ගේ අනුමැතිය මත කොන්ත්‍රාත් සමාගමට පාරු සේවාවක් ආරම්භ කරන්න ජුලි 14 අනුමැතිය දුන්නා. මාර්ග සංවර්ධන අධිකාරිය මැදිහත් වෙලා නියමිත ක්‍රමවේදයන්ට පාරු සේවයක් ආරම්භ කරන්න යනකොට තමා නගර සභාව මේ අනාරක්ෂිත පාරු සේවයට අනුමැතිය දුන්නේ.

දිගින් දිගටම නගර සභාව හා ප්‍රාදේශීය සභාව අවසර ඉල්ලුවත් අවසර දුන්නෙ නැහැ. කින්නියා නගර සභාව මේ කරලා තියෙන්නෙ තමන්ට අයිති නැති කාර්යභාරයක්. පාරුවක් දාන්න හෝ පාරු සේවාවක් දාන්න කින්නියා නගර සභාවට කිසිම අනුමැතියක් නැහැ. මේ අවසර ලබා දීලා තියෙන්නෙ ඉම්රාන් මහරුෆ් මන්ත්‍රීතුමාගේ මස්සිනා වුන මේකේ නගරාධිපති. පාරු සේවයට අවසර දුන්නේ නගරාධිපති. මේක කළේ ඒයාගේ පාක්ෂික රියාස්. මෙම කාර්යයන් දෙකටම සම්බන්ධ වෙලා තියෙන්නෙ මහරුෆ් මන්ත්‍රීතුමාගේ මස්සිනා. මේ සභාව සහ රටේ ජනතාව ඊයේ නොමග යැව්වා. මේ පාරු සේවාව කළේ තවුෆික් මන්ත්‍රීතුමා කියලා. එතුමා කළේ අනාරක්ෂිතව යන අය ආරක්ෂිතව යන්න පාලමක් හදන්න මුල්ගල තියපු එක විතරයි. අනාරක්ෂිතව යන පාරුවට අවසර දුන්නේ මේ ඉම්රාන් මහරුෆ් මන්ත්‍රීතුමා සම්බන්ධ වෙලා. ඇත්ත කතාව මේකයි. විපක්ෂය මින් දේශපාලන වාසි ගන්න එපා.

විපක්ෂය ඇගිල්ල දිගු කරන්න ඕනේ නම් ඇගිල්ල දිගු කරන්න ඕනේ පාරු සේවයට අවසර දුන්නේ කවුද ? එය ආරක්ෂිත ක්‍රමවේදයට උපයෝගි කර නොගත්තේ කවුද ? කියන අයටයි.

ඊයේ සිදුවීම සිදු නොවෙන්න ඕන දෙයක්. අපි අවසර ලබා දී නොතිබූ කටයුත්තක් සදහා මුදල් ඉපැයිමේ පරමාර්ථයෙන් කින්නියා නගරාධිපති මේ සදහා අවසර ලබා දීම නිසා අහිංසක ජීවිත අහිමු වුනා. මේ පිළිබදව පරීක්ෂණයක් කරන්න කියලා අතිගරු ජනාධිපතිතුමාගෙන්, ගරු අග්‍රාමාත්‍යතුමාගෙන්, පොලිසීයභාර අමාත්‍යතුමාගෙන්, පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මේ සදහා අවසර ලබා දුන් නගරාධිපති සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ගයක් ගෙන ධූරය අත්හිටුවන්න කියලා විශේෂයෙන් ආන්ඩුකාරතුමියගෙන් ඉල්ලා සිටිනවා.

නැති බලයක් ආරුඪ කරගෙන කින්නියා නගරාධිපති කරපු මේ ක්‍රියාව නිසා තමා අහිංසක මිනිස්සු මැරුණේ. ඒ අයට සාධාරණයක් ඉටු කරන්න නම් කින්නියා නගරාධිපතිගේ වැඩ තහනම් කරන්න. කරපු අපරාධයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පරීක්ෂණයක් කරන්න කියලා ගරු සභාවෙන් ඉල්ලා සිටිනවා.

නැවත මෙවැනි අවසානාවන්ත සිදුවීමක් නොවෙන්න මෙම පාලමේ ඉදිකිරීම කඩිනම් කරන්න කියලා අදාළා අංශ වෙත මේ වනවිටත් උපදෙස් ලබා දී ඇති බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *