ණය සහන දායක මණ්ඩලයේ කටයුතු තවත් ව්‍යාප්ත කරයි

(ලංකාපුවත් | කොළඹ) –ණය සහන දායක මණ්ඩලයේ කටයුතු තවදුරටත් ව්‍යාප්ත කරමින් මහ ජනතාවට ලබා දෙනු ලබන සේවාව පුළුල් කිරීමේ අරමුණින් යුතුව පිහිටුවන ලද එම මණ්ඩලයේ ගාල්ල ශාඛාවෙහි වැඩකටයුතු ආරම්භ කිරීම අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් අද(26) සිදුවිය.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කලේ ජනාධිපතිතුමා විසින් ක්ෂේත්‍ර හතරක් සඳහා ප්‍රමුඛතාවය ලබදී ඇත බව සඳහන් කරන ලදී. එම ක්ෂේත්‍ර ලෙස ජාතික ආක්ෂාව, අධ්‍යාපනය, නව තාක්ෂණය මඟින් ඩිජිටල් කරණය හා අධිකරණ ක්ෂේත්‍ර පිළිබඳවයි. තවද සාමාන්‍ය ජනයාට නිරන්තරයෙන් සිදුවන ගැටලු විසඳා ගැනීම සඳහා අධිකරණය වෙත නොගොස් එම කටයුතු ණය සහන දායක මණ්ඩය වැනි ආයතන සඳහා පැමිණ නිරාකරනය කර ගැනීම සඳහාද අවස්ථාව සැලසීමට කටයුතු යොදා ඇති බැවින් ණය සහනදායී මණ්ඩලය වෙත ලැබී ඇති පැමිණිලි සලකා බලා ගාල්ල ශාඛාවට අමතරව කුරුණෑගල යන ප්‍රදේශයේද නුදුරේදීම ශාඛාවක් ස්ථාපිත කිරීමට කටයුතු කරන අතර ණය සහන දායක මණ්ඩලය තවත් අධිකරණයක් නොවිය යුතු බවද අමාත්‍යතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට එක්වෙමින් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ ප්‍රියන්ත මායාදුන්නෙ මහතා පෙන්වා දුන්නේ පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී හිටපු ජනාධිපතිතුමා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් කල ප්‍රකාශය පිළිබඳව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සිටින හෝ විශ්‍රාම ගිය නිලධාරීන් කවුරුන් හෝ ආචාර ධර්ම වලට පටහැනිව දූෂිත ක්‍රියාවක නිරවී ඇතිනම් හෝ නිරත වන්නේ නම් ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ වන විටත් දන්වා ඇති බවයි.

අංක 45 A ,ක්‍රිප්ස් පාර,ගාල්ල යන ස්ථානයෙහි නව කාර්යාලය ස්ථාපිත කිරිමට සිදුකර ඇති අතර දකුණු පළාතේ ගාල්ල , මාතර, හම්බන්තොට යන දිස්ත්‍රික්කයන්හි පදිංචි ජනතාවට මෙම නව කාර්යාලය තුළින් පහසුකම් ලබා ගැනීමේ හැකියාව තිබේ.

ගේ දොර, වතු පිටි, හෝ ගොඩ මඩ කෘෂිකාර්මික ඉඩම් උකසට තබා හෝ පොරොන්දු සින්නක්කරයක් මත ගන්නා ලද ණය මුදලක් ආපසු ගෙවීම් සම්බන්ධයෙන් ඇති වන ගැටළුවකදී ජනතාව මුහුණ දෙන දුෂ්කරතාවයන් සදහා අවශ්‍ය සහන සැලසීම මෙම දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබයි.

1941 අංක 39 දරුණ ණය සහනදායක ආඥා පනත යටතේ මෙම දෙපාර්තමේන්තුව ස්ථාපිත කර ඇති අතර 1999 අංක 29 දරණ (සංශෝධිත) පනත අනුව හුදෙක් ණය ගනුදෙනුවක් සදහාම සින්නක්කර ඔප්පුවක් මත කරන ලද පැවරීමක් සම්බන්ධයෙන් මෙම දෙපාර්තමේන්තුවට මැදිහත් වී ණයකරුට සහනයක් සලසා දීමට අවශ්‍ය විධි විධාන සළසා ඇත.

මේ සදහා පැමිණිලි යොමු කිරීමේදි ජනතාවට අවශ්‍ය විස්තර සහ ඉල්ලුම් පත් අංක 35 ඒ,ආචාර්ය එන්.එම්.පෙරේරා මාවත, කොළඹ 08 යන ස්ථානයෙහි පිහිටි ණය සහන දායක මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයෙන් හෝ moj.gov.lk වෙබ් අඩවියෙන් බාගත කර ගැනීමේ හැකියාව පවතින අතර, අවශ්‍ය තොරතුරු ඇතුළත් කරන ලද ඉල්ලුම් පත් තමන්ට අදාළ ඉඩම් රෙජ්ස්ටාර් කාර්යාලයෙන් ලබා ගත් ඉඩම් රෙජිස්ටාර් සහතික කරන ලද ණය ගනු දෙනුවට අදාළ ඔප්පු පිටපත (ණට උකස් කර පොරොන්දු සින්නක්කර හා ණය ගනු දෙනු සදහා ලියන ලද සින්නක්කර ඔප්පු) හා ගණු දෙනුවට අදාළ ඔප්පුව සහතික කරන ලද දින සිට මේ දක්වා කාලයට අදාළව ඉඩම් රෙජ්ස්ටාර් කාර්යාලයෙන් ලබා ගන්නා ලද පත් ඉරුවල සහතික පිටපත් අමුණා ණය සහන දායක මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයට එවිය යුතු ය.

ණය සහනදායක මණ්ඩලය මගින් තමන්ට යොමු කරන ඉල්ලුම්පත්‍ර සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී ණයකරුට නිශ්චිත වශයෙන් ලැබුණු හෝ ණයට ගත් මුදලේ ප්‍රමාණය, ණය මුදලට විනිමය කරන ලද පොලියේ සාධාරණත්වය, ණය මුදල සම්බන්ධයෙන් ගෙවීමට එකග වී ඇති පොලියේ ප්‍රමාණය,පොලී වශයෙන් හෝ ගාස්තු වශයෙන් දැනටමත් ගෙවා ඇති මුදල් ප්‍රමාණය, ණය මුදල ගෙවීමේදී ඊට පදනම් කර ගත් විශේෂ කොන්දේසි , ණයකරුට මුදල් ගෙවීමේ ඇති හැකියාව, සැළකිල්ට ගත හැකි යයි මණ්ඩලය අදහස් කරන වෙනත් කරුණු පිළිබදව අවධානය යොමු කරවනු ලබයි.

ණය සහන මණ්ඩලයෙන් ජනතාවට ලබා දෙනු ලබන සේවාවන් පිළිබදව අවශ්‍ය තොරතුරු ප්‍රධාන කාර්යාලයේ දුරකථන අංක 0112697911, ගාල්ල කාර්යාලයේ දුරකථන අංක 0912237431 හෝ ගම්පහ කාර්යාලයේ දුරකථන අංක 0332060668 න් ලබා ගත හැකි බව ණය සහන දායක මණ්ඩලය සදහන් කරයි.

මෙම අවස්ථාවට එක්වෙමින් වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ රාජ්‍ය අමාත්‍ය මොහාන් සිල්වා මහතා අදහස් ප්‍රකාශ කල අතර, අධිකරණ අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම් නීතිඥ ජනක රණතුංග මහතා ඇතුළු දිස්ත්‍රික්කයේ මැති ඇමතිතුමන්ලා මෙන්ම අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *