කල්පිටිය දූපත් සංචාරක කර්මාන්තයට යොදා ගැනීමට වැඩපිළිවෙලක්

(ලංකාපුවත් | කොළඹ) – කල්පිටිය ප්‍රදේශයේ ඇති සංචාරක සංවර්ධනය අධිකාරිය යටතේ පවතින දූපත් 12 ක් සංචාරක කර්මාන්තයට යොදා ගැනීම සදහා කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා සංචාරක අමාත්‍යාංශ ලේකම්වරයාට සහ සංචාරක සංවර්ධනය අධිකාරියට පසුගියදා දැනුම් දුන්නේය.

අක්කර 2055 ක් වූ එම දූපත් 12 න් 5 ක් සදහා ආයෝජකයෙක් 2011 වසරේදී ඉදිරිපත් වුවද ඔහුගේ ජල බංගලා ව්‍යාපෘතියට (Water Bungalows) අනුමැතිය ලබා ගැනීමට නිසි ආයතනයක් හදුනා ගැනීමට නොහැකි වීම නිසා මෙය ප්‍රමාද වී ඇති බව මෙහිදී අනාවරණය විය. මාලදිවයිනේ දැනටමත් මෙම වර්ගයේ හෝටල් ඇති මෙම ආයෝකයාට අනුමැතිය ලබා දීමට නොහැකිව වසර 10 ක් තුළ මෙලෙස ව්‍යාපෘතියක් ප්‍රමාද වීම සංචාරක කර්මාන්තයේ දියුණුවට මෙන්ම රටේ සංවර්ධනයට බාධාවක් බැවින් මේ සදහා වහාම මැදිහත් විය යුතු බව කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

ඉතා සුන්දර මෙම දූපත් සංචාරක කර්මාන්තය සදහා යොදා ගැනීමේ අවශ්‍යතාව කෝප් සභාපතිවරයා අවධාරණය කළේය. මේ සදහා කැබිනට් අනුමැතිය මේ වන විට ලැබී ඇති බැවින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, වයඹ පළාත් සභාව, වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව වැනි අදාළ සියලු පාර්ශව සමග මෙහෙයුම් කමිටුවක් පත් කොට ශක්තිමත් නෛතික රාමුවක් තුළ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලෙස සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස් . හෙට්ටිආරච්චි මහතාට සහ සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු මහත්මියට කෝප් සභාපතිවරයා දැනුම් දුන්නේය.

සංචාරක සංවර්ධන අධිකාරියේ 2018 සහ 2019 වර්ෂයන් සදහා වූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පරීක්ෂාව සදහා මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව පසුගියදා (26) රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

තවද වසර කිහිපයකට පෙර කතරගම සංචාරක නිකේතනයේ අලුත්වැඩියාව සදහා වැය කළ රු. මිලියන 29 න් මිලියන 11 ක් නොකළ වැඩ සදහා ගෙවා ඇති බවට තිබූ විගණන නිරීක්ෂණය පිළිබදව කමිටුව අවධානය යොමු කළේය. නැවත පත්කළ විශේෂඥ කමිටුවක් මගින් මෙම මි.11 ක අගය රු මිලියන 4.8 කට තක්සේරු කර ඇති බවද මෙහිදී අනාවරණය විය. කෙසේ වෙතත් මේ පිළිබදව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හරහා පත් කළ කමිටුවක් මගින් අදාළ සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ පවත්වා වරදකරුවන්ට නීතිපති මගින් දඩුවම් ලබා දෙන ලෙස නිර්දේශ වී ඇතත් මේ වන විටත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබීම පිළිබදවද කමිටුවේ අවධානය යොමුවිය. ඒ වෙනුවට සිද්ධියට සම්බන්ධ නිලධාරියාට‍ අවවාදාත්මක ලිපියක් පමණක් නිකුත් කර ඇති බවද මෙහිදී විගණකාධිපතිවරයා අනාවරණය කළ අතර මේ පිළිබදව කමිටුව සිය දැඩි අප්‍රසාදය පළ කළේය. මෙය පවතින කළමනාකාරීත්වය විවේචනය කිරීමක් නොව රාජ්‍ය ආයතන දිගු කලක් තිස්සේ පැවතෙන මෙම ක්‍රමවේදය වෙනස් කොට විගණන නිරීක්ෂණ වලට සහ නිර්දේශවලට නිසි පියවර ගැනීම වගකීමක් බවත් කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේය.

එසේම කල්පිටිය තොරයිඅඩි ජැටිය සහ වන්නිමුන්දලම කලපුව අසල පාර ඉදි කිරීම වෙනුවෙන් කලුගල් සහ බොරලු පස් සදහා වැඩිපුර මිලියන 10 ක් ගෙවීම පිළිබදව ද කමිටුව කරුණු විමසා සිටියේය. මෙහිදී අධිකාරිය පැවසුවේ මේ පිළිබදව පුත්තලම දිස්ත්‍රික් ඉන්ජිනේරුවරයාගෙන් විමසූ බවත් එහිදී අදාළ ලියකියවිලි ඔවුන් සතුව නොමැති බැවින් ඉදිරි කටයුතු සිදු කිරීමට නොහැකි බව දන්වා ඇති බවත්ය. මේ පිළිබදව සොයා බැලීමට 2016 වසරේදී කෝප් කමිටුව විසින් නිර්දේශයක් ලබා දී තිබුණද මේ පිළිබදව සොයා බැලීමට ආරම්භ කොට ඇත්තේ 2018 වසරේදී බව විගණාධිපතිවරයා අනාවරණය කළේය. මේ පිළිබදව දැඩි අප්‍රසාදය පළ කළ කෝප් සභාපතිවරයා පැවසුවේ රටේ මූල්‍ය පාලනය පිළිබදව ඉහළම ආයතනය වන පාර්ලිමේන්තුව මගින් ලබා දෙන නිර්දේශයක් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය ආයතන බැදී සිටින බැවින් වහාම මේ පිළිබදව විමර්ශනයක් කොට කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙසයි.

2018 – 2019 වසර වල සංචාරක කටයුතු සංවර්ධනය සදහා රු බිලියන 1.2 ක් වියදම් කළද සංචාරයකයන් පැමිණ ඇත්තේ මිලියන 1.9 ක් බවත් මේ නිසා වඩාත් කාර්යක්ෂක්ෂම යාන්ත්‍රණයක් යටතේ සංචාරක කර්මාන්තය වෙනුවෙන් දැනට වෙන්ව පවතින ආයතන ක්‍රියාත්මක විය යුතු බවත් සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු මහත්මිය පෙන්වා දුන්නාය. මේ අනුව සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් මේ වන විට වෙන් වෙන්ව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශය යන ආයතන ඒකාබද්ධ කොට තනි ආයතනයක් ගොඩ නගන බවත් ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය වෙනම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් සභාපතිවරිය වැඩිදුරටත් පැවසීය.

මේ සදහා මේ වන විට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බැවින් ලබන මාර්තු- අප්‍රේල් වන විට නව පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී පැවසීය. වඩාත් කාර්යක්ෂම යාන්ත්‍රණයක් සදහා අමාත්‍යාංශ සහ එම ආයතනවල අවශ්‍යතාව එය නම් එම කටයුතු කඩිනම් කරන ලෙස කෝප් සභාපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේය.

මාලදිවයින මේ වන විට සංචාරක කර්මාන්තයේ ශීඝ්‍ර දියුණුවක් ලබා ඇති බැවින් ශ්‍රී ලංකාවට එම තත්ත්වයට යාමේ ඇති බාධාව පිළිබද කමිටුවේ අවධානය යොමුවිය. මෙහිදී කිමාලි ප්‍රනාන්දු මහත්මිය පැවසුවේ මාලදිවයිනේ සංචාරක කර්මාන්තයේදී ඉහළම මිල ගණන්වල සුඛෝපභෝගි හෝටල් පමණක් ක්‍රියාත්මක වීම, ගෝලීය වශයෙන් ක්‍රියාත්මක මහජන සම්බන්ධතා හරහා ප්‍රවර්ධන කටයුතු සිදු කිරීම, ජාත්‍යන්තර මට්ටමේ විශේෂඥයන් 15 දෙනෙකුගේ කුඩා කණ්ඩායමක් යටතේ මෙහෙයවීම, ප්‍රමුඛ පෙලේ ජාත්‍යන්තර ආයෝජකයන් ගෙන්වීම හරහා ඔවුන් විශාල ප්‍රවර්ධනයක් සිදුකිරීම යනාදි කරුණු මීට බලපා ඇති බවයි. එසේම කොවිඩ් වසංගතය හමුවේ මෙරට සංචාරක කර්මාන්තය නගා සිටුවීමට ආයතනය විශාල කාර්යභාරයක් සිදුකළ බව සභාපතිවරිය මෙහිදී පැවසීය. කොවිඩ් තත්ත්වය තුළ හෝටල්කරුවන් පුහුණු කරවීම, මේ වන විට සංචාරක ලියාපදිංචිය මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමවේදය හරහා සම්පූර්ණයෙන්ම සිදු කිරීම යනාදිය තම ආයතනය ලැබු විශාල ප්‍රගතියක් බවද ඇය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × one =