පරිසර අමාත්‍යංශයේ ජාතික පරිසර සභාව පත් කරයි

(ලංකාපුවත් | කොළඹ) – පාරිසරික සුරක්ෂිතතාවය උදෙසා පරිසර අමාත්‍යාංශය විසින් පත් කරනු ලබන ජාතික පරිසර සභාව සදහා වන නිලධාරි මණ්ඩලය අද( 29) පත් කරනු ලැබීය. ජාතික පරිසර සභාවට සාමාජිකයින් 25 දෙනෙක් අයත් වේ.

මධ්‍යම පරිසර අධිකාරියේ දී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික පරිසර සභාව සඳහා පත් වූ සාමාජිකයින්හට පත්වීම් ලිපි පිරිනැමීම සිදු කරන ලද අතර ජාතික පරිසර සභාවේ 14 වන සැසිවාරය ද අද දින පවත්වනු ලැබීය.

මෙහිදී නව පරිසර සභාවේ සාමාජිකයෙක් ලෙස ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් ද පත් කිරීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පියවර ගත්තේය.

එමෙන්ම ජාතික පාරිසරික සභාවේ සභාපතිවරයා වශයෙන් පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පත් කරනු ලැබීය.

මෙම අවස්ථාවට පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ, අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ යන මහත්වරු ද සහභාගි වූහ.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා පරිසරය සුරැකීම රජයට හෝ පරිසර අමාත්‍යාංශයට පමණක් කළ නොහැක්කක් බවත් ඒ සඳහා පරිසරය පිළිබඳ දැනුමක් ඇති විද්වතුන් මෙන්ම මහජනතාවගේ සහයෝගයද අත්‍යවශ්‍ය බව අවධාරණය කළේය.

පසුගිය දිනවල ඇති වු අධික වර්ෂාව හේතුවෙන් ගංගා , ඇළ දොළ හරහා සාගරයට විශාල ලෙස පොලිතීන් හා ප්ලාස්ටික් එක් වන බවට සාගරික පරිසර ආරක්ෂණ අදිකාරිය තහවුරු කර ඇතැයි ද සඳහන් කළේය. එහි වාර්තා අනුව වර්ෂාව නිසා සාගරයට ටොන් 250,000ක පමණ පොලිතීන් හා ප්ලාස්ටික් එක් ව ඇතැයි සඳහන් කර ඇතත්, එම සංඛ්‍යා ලේඛණ සම්බන්ධව නිවැරදි සොයා බැලීමක් කළ යුතුව ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වුවද පාරිසරික හානිය අවම කරලීම සඳහා නව අදහස් හා යෝජනා පරිසර අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලෙස ද අමාත්‍යවරයා නව ජාතික පරිසර සභාවට පත් වූ සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *