රෝහල් වෙත වෛද්‍ය උපකරණ සහ මානව සම්පත බෙදී යෑමගැන කඩිනමින් විමර්ශනයක්

(ලංකාපුවත් | කොළඹ) –රජයේ රෝහල් වෙත වෛද්‍ය උපකරණ සහ මානව සම්පත බෙදී යන ආකාරය සමබන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් කර ඇගයීම් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට පසුගියදා (27) දැනුම් දුන්නේය.

ඇතැම් රෝහල්වල වෛද්‍යවරුන් අතිරික්තව සිටින අතර, ඇතැම් ග්‍රාමීය රෝහල් වල වෛද්‍ය හිඟයක් පවතින බව සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අමාත්‍යවරයා සඳහන් කළේය.

මූලික රෝහල් මධ්‍යම රජයට පවරා ගැනීම මඟින් සෞඛ්‍ය පහසුකම් වඩා ප්‍රශස්ත මට්ටමකට රැගෙන ඒමට හැකි වුවත්, පළාත් සභා යටතේ ඇති විෂයන් මධ්‍යම ආණ්ඩුවට පවරා ගැනීම 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව බලය විමධ්‍යගත කිරීමේ ක්‍රියාවලිය සමඟ ගැටෙන බැවින් එය ගැටලු සහගත බව හෙතෙම කාරක සභාවේදී පෙන්වා දුන්නේය.

ඒ සම්බන්ධව විමර්ශනය කර වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීම සුදුසු බවද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් පැවසීය.

පසුගිය කාලය තුළ විටින් විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්ජන රැල්ලක් ඇති වූ බැවින්, වැටුප් ඉහළ නැංවීමේදී පොදු ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීමේ අවශ්‍යතාව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතා කාරක සභාවේදී පෙන්වා දුන්නේය.

ඉකුත් වසර කිහිපය තුළ මෙරටට ඖෂධ වර්ග රැසක් වැඩියෙන් ආනයනය කර තිබීම සම්බන්ධයෙන් කාරක සභාවේ විශේෂ අවධානයක් යොමු වූ අතර, ඇතැම් වර්ෂවල අධි ප්‍රතිශතයන්ගෙන් මෙරටට ඖෂධ ආනයනය කර තිබූ බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්‍ය චන්න ජයසුමන මහතා කීවේය.

ඖෂධවලට අදාළව ජාතික තොරතුරු පද්ධතියක් ආරම්භ කරන බවත්, දිවයිනේ සියලු රෝහල් ඊට සම්බන්ධ කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඇල්පිටිය මූලික රෝහලේ මේ වන විට අඩුපාඩු රැසක් පවතින බවත්, එම අඩුපාඩු සම්පූර්ණ කිරීමට ක්‍රියා කළ යුතු බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය මෙහිදී පැවසුවාය.

පොළොන්නරුව වකුගඩු රෝහල ඉදිකර විවෘත කළද එය මෙතෙක් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ විශේෂ අවධානය යොමු විය.

කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගත් ඇතැම් පුද්ගලයින්ගේ තොරතුරු ඊට අදාළව ක්‍රියාත්මක දත්ත පද්ධතියට ඇතුළත් නොවීම සම්බන්ධ ගැටළුවක්ද පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා කාරක සභාවට ඉදිරිපත් කළේය. පවතින එම තත්ත්වය කඩිනමින් විසඳීම සඳහා කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා කාරක සභාවට දැනුම් දුන්නේය.

ඊයේ මධ්‍යම රාත්‍රිය වන විට 1990 සුව සැරිය ගිලන් රථ සේවයට ලැබී ඇති ඇමතුම් සංඛ්‍යාව හතලිස් හය ලක්ෂ තිස්තුන් දහසක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්‍ය හර්ෂ ද සිල්වා මහතා කාරක සභාවේදී පැවසීය. එම සේවය සඳහා 2022 වසර වෙනුවෙන් වෙන් කර ඇත්තේ රුපියල් මිලියන 1800 ක් බවත්, එය ප්‍රමාණවත් නොවන බවත් හෙතෙම පෙන්වා දුන්නේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්‍ය හර්ෂ ද සිල්වා මහතා ඉල්ලුම් කළ පරිදි අවම වශයෙන් තවත් මිලියන 1200 කින් වත් එම මුදල් ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා අදාළ පාර්ශ්ව සමඟ සාකච්ජා කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා කාරක සභාවට දැනුම් දුන්නේය.

එමෙන්ම ආයුර්වේද උපාධිධාරින් 719 ක් රැකියා විරහිතව සිටින බව ද මෙම කාරක සභාවේදී අනාවරණය විය. ප්‍රාදේශීය වශයෙන් ආයුර්වේද බෙහෙත් ශාලා ආරම්භ කර, ඔවුන්ට පත්වීම් ලබා දීමට සැලසුමක් පවතින බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා කාරක සභාවේදී කීවේය.

මෙම කාරක සභාවට ගරු අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 20 කට අධික සංඛ්‍යාවක් සහභාගි වූහ. සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ නිලධාරිහු පිරිසක්ද මේ අවස්ථාවට එක් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *